සිය පියාගේ රහසඟ පිහියකින් කපා කැලේට විසි කර ඇතැයි කියන පුතුන් දෙදෙනා මැයි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය ඉකුත් 03 වැනිදා නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ රඹුක්කන පොලිස් වසමේ යටගම උඩගම පදිංචිව සිටින 34 හැවිරිදි කොලොන්ගස්දෙණිය මුදියන්සේලාගේ ගෙදර සුසන්ත හේරත් සහ 30 හැවිරිදි කොලොන්ගස්දෙණිය මුදියන්සේලාගේ ගෙදර අනුර කුමාර යන අයියා මලෝ දෙදෙනාය. සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රඹුක්කන යටගම ප්‍රදේශයේ මවුපිය යුවළක් අවිවාහක පිරිමි දරුවන් තිදෙනෙක් සමඟ පදිංචිව සිටින බවත් ඔවුන්ගේ පියා සෑම දිනකම කුලී වැඩ කර සවසට මත්පැන් පානය කර නිවෙසට පැමිණ කාලයක සිට බිරිය සමඟ ගැටුම් ඇති කරගෙන බැණ තර්ජනය කර පහර දෙන බවත්ය.
ඉකුත් 30 වැනිදා රාත්‍රි සුපුරුදු පරිදි මත්පැන් පානය කර නිවෙසට පියා පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දී නිවෙසේ වැඩිමහල් පිරිමි දරුවා හා බාල පිරිමි දරුවා පමණක් නිවෙසේ සිට ඇති බවත් දෙවැනි පිරිමි දරුවා නිවෙසින් බැහැරව ගොස් ඇති බවත් පැවසීය. එදින ද මවුපිය යුවළ අතර නිවෙසේ සාලයේ දී ගැටුමක් හටගෙන ඇති බවත් පියා සිය බිරියට පහර දෙන අවස්ථාවේ දී පිරිමි දරුවන් දෙදෙනා මවුපිය යුවළගේ ගැටුම සමථයකට පත් කිරීමට ගිය අවස්ථාවේ දී පියා ඇඳ සිටි සරම ගැළවී බිමට වැටී ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව බාල පුතා කුස්සියට දිවගොස් පිහියක් රැගෙන පැමිණ පියාගේ රහසඟ මැදින් වෙන් වෙන්නම කපා කැලයට විසි කර ඇති බවත් පසුව තුවාලකරු කෑගසාගෙන නිවෙසින් පිටතට දිවගොස් එළිය වැටෙන තුරු කැලයේ රැය පහන් කර පසු දා (01 වැනිදා) රඹුක්කන රෝහලට ඇතුළත් වී ඇති බවත් පැවසීය. පසුව රඹුක්කන රෝහලෙන් තුවාලකරු වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහලට මාරු කර ඒවා ඇති අතර එදින කෑගල්ල මහ රෝහලේ දී තුවාලකරුට ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත් පැවසීය. පසුව තුවාලකරු කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත 02 වැනිදා රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කෙරිණ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ මඟින් රඹුක්කන පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසුව රඹුක්කන පොලිසිය මඟින් සැකකාර අයියා මලෝ දෙදෙනා 02 වැනිදා අත්අඩංගුවට ගෙන 03 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය වෙත ඉදිරිපත් කළේය.
පොලිසිය ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකාර අයියා මලෝ දෙදෙනා මැයි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. රඹුක්කන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කීර්ති ඇතුගල මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් ජයසූරිය (34688)) සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබුණි.