පොලොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට පෙරේදා (4) අලුයම හිස වසාගත් පුද්ගලයකු ඇතුළු වී එහි සේවකයෙකුට කඩුවකින් කොටා, පහරදී රෝහලේ ප්‍රධාන කාර්යාලයේ දොරවල්වල හා ජනෙල්වල වීදුරුවලට පහරදී අලාභහානි සිදුකර ඇති බව මනම්පිටිය පොලිසිය පවසයි.
මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ රෝහලේ සෞඛ්‍ය සේවකයකු වන කෝරලේවත්තේ ගෙදර නිසාද් රෝහණ බණ්ඩාර යන 59 හැවිරිදි අයෙකු බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය පවසයි.
මීට දින කිහිපයකට පෙරදී මනම්පිටිය ප්‍රදේශයේ කුඹුරු වැඩ කරමින් සිටි අවුරුදු තිස්දෙකක් වයසැති එක්දරු පියකු මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු පොලොන්නරුව රෝහලට මාරු කර යැවීමෙන් පසු මිය ගොස් තිබේ.
එම මරණය රෝහලේ සෞඛ්‍ය සේවකයින්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ මරණයක් බවට ඥාතීන් චෝදනා නඟන අතර, එම සිදුවීම පදනම් කරගනිමින් පුද්ගලයකු පැමිණි සේවකයාට සහ රෝහලේ දේපළවලට අලාභ හානි කරන්නට ඇති බවට සැක පළ කරන බව මනම්පිටිය පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කඩුවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිටුපස තවත් කිහිප දෙනෙකු සිටින බවද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දීපාල් අසංක මහතාගෙන් මේ පිළිබඳ විමසීමේදී සඳහන් කළේ අදාළ පුද්ගලයා අලුයම් කාලයේ රෙදි කැබැල්ලකින් හිස වසාගෙන රෝහලට ඇතුළත් වී රෝහල් සේවකයෙකුට කඩුවකින් පහරදී, තුවාල සිදුකර ඇති බවත් ජනෙල් දොරවල්වල වීදුරු කඩා රුපියල් ලක්ෂයක පමණ අලාභහානි සිදුකර ඇති බවය.
කුඹුරු වැඩ කරමින් සිටි පුද්ගලයෙකු හදිසියේ ලෙඩ වීමත් සමඟ මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත්, එම සිද්ධිය රෝහලට පහර දීමේ සිද්ධියට සම්බන්ධයක් නොමැති බවත්, පහර දුන් පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, පහරදීමට හේතුව තමන් නොදන්නා බවද දීපාල් අසංක මහතා සඳහන් කළේය.