බෙන්තොට ගාලු පාරේ තම මිනිබිරිය සමඟ ගමන් කරමින් සිටි කාන්තාවක් පෙරේදා (4) සවස හයට පමණ ත්‍රිරෝද රථයක ගැටීම නිසා බරපතළ තුවාල ලබා ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ගෙනයන අතරතුරදී මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පැවැසීය.
මෙම අනතුරින් මියගිය කාන්තාවගේ අට හැවිරිදි මිනිබිරිය ද තුවාල ලබා බෙන්තොට රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට රොබොල්ගොඩ පදිංචි එම්. මාලිනී රූපලතා නැමැති 65 හැවිරිදි කාන්තාවකි. තම මිනිබිරිය පෞද්ගලික පන්තියක සිට නිවෙසට කැඳවාගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී ඊයේ (5) පැවැත්වීමට නියමිතව තිබිණි. බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.