කසකස්තානයට එරෙහිව ලකුණු 45-7ක දැවැන්ත ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ තුරඟ තරග පිටියේ පසුගියදා පැවති අවසන් මහා තරගයේදී සුහිරූ ඇන්තනීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව ගෝල 5ක් සහ උත්සාහක දිනුම් 2ක් රැස් කළ අතර, කසකස්තානයට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක් පමණි. තරගයේ පළමු භාගය අවසන් වෙද්දී ශ්‍රී ලංකා පිල ලකුණු 31-0 කින් පෙරමුණ ගත්තේය. මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව ලබන වසරේ ආසියානු රග්බි ශූරතාවලියේ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුබෙර් දොරේ, අදීෂ වීරතුංග, තෙනුක නානායක්කාර, තරින්ද රත්වත්ත, දිනාල් ඒකනායක, හේෂන් ජැන්සෙන් සහ සචිත් සිල්වා උත්සාහක දිනුම් තැබීමට සමත් වූහ. තරින්ද රත්වත්ත උත්සාහක දිනුම් 3ක් ද, තෙනුක නානායක්කාර සහ හිරූෂ නෙත්මිණ උත්සාහක දිනුම බැගින් ද ගෝල බවට පත් කළහ.
මේ අතර අවසන් මහා තරගයට පෙර තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා කටාර් රාජ්‍යය සහ ඉන්දියාව අතර පැවති තරගයෙන් ලකුණු 34-25ක ජයක් වාර්තා කිරීමට කටාර් රාජ්‍යය පිල සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රග්බි ශූරයන්ට ලක්ෂ 88ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ආසියානු රග්බි පළමු කාණ්ඩයේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රග්බි පිලට අමෙරිකානු ඩොලර් 30,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 88ක්) පිරිනමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ යෝජනාවක් අනුව ක්‍රිකට් විධායක කමිටුව මේ මුදල අනුමතකොට ඇත.
මේ ආසියානු ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් අතිශය සතුටට පත්වන බවත්, ජාතික රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනය හා ආසියානු රග්බි කවයේ ඉහළට කණ්ඩායම ගමන් කිරීම ක්‍රීඩා ක්ෂේත්රයට සුබදායක බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.