Home » ඩුබායිහිදී ඇල්ලූ ‘මන්නා රමේෂ්’ අද මෙරටට

ඩුබායිහිදී ඇල්ලූ ‘මන්නා රමේෂ්’ අද මෙරටට

by sachintha
May 7, 2024 2:22 am 0 comment

 

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට අපරාධ රැසක් මෙහෙය වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් “මන්නා රමේෂ්”…

නමැත්තා එරටදී අත්අඩංගුවට පත්ව අද (07) මෙරටට රැගෙන ඒමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් නමැත්තා එරට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සියලු තොරතුරු සහ සාක්ෂි ජාත්‍යන්තර පොලිසියට යැවීමට මෙරට පොලිසිය මඟින් මීට මාස කීපයකට ඉහතදී පියවර ගෙන තිබිණි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ මූලික කරගෙන රත්නපුර ආදි ප්‍රදේශවල කෝටිපති මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ල කරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම ගෝල බාලයන් ලවා මන්නා රමේෂ් විසින් ඉකුත් කාලය පුරා සිදු කර තිබිණි. අවමංගල්‍ය නිවෙසකට සහභාගි වී නිවෙස කරා ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු ඉලක්ක කර ගෝල බාලයන් ලවා අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම, තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීම මන්න රමේෂ්ගේ නියෝග සහ අනුදැනුම මත මෑත කාලයේ සිදු වූ අපරාධය අතර කීපයකි. මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයා වු තල්ලුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩි පහරින් මිය යෑමෙන් පසු එම මෙහෙයුමට සහභාගි වූ සියලු පොලිස් නිලධාරීන්ට මන්න රමේෂ් නමැත්තා එරට සිට තර්ජන එල්ල කළේය. ඊට අමතරව අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට හා ඔහුගේ දරුවන්ට ද මරණීය තර්ජන එල්ල කරමින් දුරකතන ඇමතුම් ලබා දීමට ද මන්නා රමේෂ් පසුගිය කාලයේ කටයුතු කළේය. ඩුබායි රාජ්‍යයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් රැගෙන එන සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මන්නා රමේෂ් නමැත්තා ගුවන්තොටුපොළේදී බස්නාහිර පළාත, දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරගෙන වැඩිදුර විමර්ශන පැවැත්වීමට නියමිතය.

 

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT