Home » අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතියෙන් කුඹුරුවල වතුරත් නැතිවෙලා

අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතියෙන් කුඹුරුවල වතුරත් නැතිවෙලා

by sachintha
May 7, 2024 2:27 am 0 comment

අරණායක අසුපිනි ඇල්ල පානීය ජල ව්‍යාපෘතිය නිසා එම ව්‍යාපෘතියට පහළ කුඹුරු අක්කර 80 කට වැඩි ප්‍රමාණයක් ජලය ලබා ගන්නා ප්‍රධාන වාරි ඇළට ජලය නිකුත් නොකිරීම හේතුවෙන් කුඹුරු වැඩ කරන ගොවින් රැසක් අපහසුතාවට ලක් ව සිටින බව ප්‍රදේශවාසීහු කියා සිටිති.

ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරන විට ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය නොලැබෙන බව අරණායක අරඹ ගොවීන් විරෝධතාවයක් කරමින් පවසා ඇති අතර එම අවස්ථාවේ වගකිව යුතු ව්‍යාපෘති නිලධාරීන් ඔවුන්ට පොරොන්දු වී ඇත්තේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීමේ ක්‍රමවේදයේ කිසිදු කප්පාදුවක් නොකරන බවටයි.

නමුත් අද වන විට එම ව්‍යාපෘතිය අවසන් කර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රඹුක්කන, අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 135ක පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දී තිබුණද අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතිය නිසා අරණායක සහ හෙම්මාතගම අවට ජල පෝෂණ ප්‍රදේශයේ ගම්මානවල ජලය ලබා දීමේ ගැටලුව උද්ගත වී ඇති බව ජනතාව කියා සිටිති. එමෙන්ම මා ඔයේ විශාල වශයෙන් ජලය පහළ ගොස් වෙනත් වැසි නොපවතින නියඟයන්වලට වඩා වැඩියෙන් ජලය අඩු වී ඇතැයිද ඔවුහු කියා සිටිති.

එයට හේතුව වී ඇත්තේ අසුපිනි ඇල්ල සහ මා ඔය ආරම්භ වන ස්ථානයේ අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතිය ස්ථානගත වීම නිසා බවද ඔවුහු තවදුරටත් සඳහන් කර සිටිති.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අප මාධ්‍ය මඟින් අරණායක අරඹ ප්‍රදේශයට ගොස් කරන ලද සොයා බැලීමකදී එම ගොවීන් මෙන්ම ප්‍රදේශයේ පවතින ගොවි සමිතියේ නිලධාරීන් පවසා සිටියේ රජ කාලයේ සිට වගා කටයුතු යල සහ මහ කන්නවල සිදු කරගෙන පැමිණියත් අසුපිනි ඇල්ල ව්‍යාපෘතිය නිසා කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් අත්හැර දැමීමට සිදු වූ බවයි. අවස්ථා කිහිපයකදී තම බලප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන්ද දැනුම්වත් කර ඇති නමුත් ඊට විසඳුම් මේ දක්වා නොලැබුණු බවද ඔවුන් පවසන්නේ මහත් වේදනාවකිනි.

ශාන්ත වික්‍රමසිංහ ගොවි මහතා,

මෙම ජල ව්‍යාපෘතිය පටන් ගන්නකොට රජයේ වගකිව යුතු ආයතන ජල සම්පාදන මණ්ඩලය, ජල ව්‍යාපෘති නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජිතයන් ගමේ පන්සලේ රැස්වීමක් කරලා ගොවි ජනතාවට පානීය ජලය සහ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දෙන්න පොරොන්දුවක් දුන්නා. ඒ අනුව මේ සියලු දෙනාම ඊට කැමැත්ත ලබා දුන්නා. අවසානයේ මේ අය ව්‍යාපෘතිය සම්පූර්ණ කරගෙන ගියා. අද වෙනකොට පවුල් 350 ක් 400 ක් ජීවත් වෙන මේ අරඹ ගමේ වතුර බොන්න නැහැ. දවස් දෙක තුනෙන් වතුර නැති වෙලා යනවා. මෙම ව්‍යාපෘතියෙන් අඩි දෙකහමාරේ විශාල බටවලින් මේ අවට හදලා තියෙන ටැංකි 7කට දෛනිකව ජලය අරන් යනවා. මෙනිසා ගොවිතැන් හානි වුණා. බොන්න නාන්න වතුර නැති වුණා. නමුත් පිටස්තර ප්‍රදේශවලට ජලය ලබා දෙනවා. අපි කියන්නේ එහෙම ජලය ලබා දෙන්න අපිටත් ගොවිතැනටත් අවශ්‍ය ජලය ලබා දෙන වැඩපිළිවෙළක් කරන්න.

අරණායක අරඹ වලගම්බා ගොවි ජන සමිතියේ ලේකම් චන්ද්‍රසේන ගොවි මහතා.

“අපි පාරම්පරික ගොවියෝ. අපේ පරම්පරාවේ අය රජ කාලේ ඉඳලා ගොවිතැන් කරගෙන ගියා. නමුත් මේ දක්වාම අපිට ජලයෙන් ගැටලුවක් වුණේ නැහැ. අසුපිනි ඇල්ල මා ඔයේ ජලයෙන් කුඹුරු වැඩ කර ගත්තා. කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාලතම වතුර ගන්න අමුණ තියෙන්නේ අපිට. ඒකට කියන්නේ අරඹ මහ අමුණ කියලා. දැන් තියෙන ගැටලුව තමයි අමුණට ජලය ගන්න විදිහක් නැතිකම. අසුපිනි ඇල්ල ජල ව්‍යාපෘතියෙන් දෛනිකව නොකඩවා ජලය ලබා දෙන නිසා සහ පවතින නියඟය මේ සඳහා විශාල වශයෙන් බලපානවා ජලය අඩු වීමට.

මේ ගමේ ගොඩාක් දෙනෙක් ගොවිතැන් කරලා ජීවත් වෙන නිසා අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනේ ගොවිතැනට ලබා දෙන ජලය නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් කර දෙන ලෙසයි. ”

අරඹ එරන්දි සුරංගිකා

“මමත් ගොවිතැන් කරනවා. මේ පාර තවන් දැම්මා. නමුත් වතුර නැති නිසා ඒක විනාශ වුණා. මගේ පවුලේ අය වාගේම මේ ගමේ ගොඩාක් දෙනෙක් ජීවත් වෙන්නේ ගොවිතැනින්. මේ පාර කුඹුරු වැඩ කරන්න බැරි වුණොත් අපිට කන්නවත් හාල් නැහැ. මේ ජල ගැටලුවට අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ක කතා කරපුවාම එයාලා කියන්නේ ජල සම්පාදන මණ්ඩලය සමඟ කතා කරන්න කියලා. අපි කොයි පැත්තට ගියත් අවසානයේ අපි අසරණ වෙලා නවතිනවා.

අප මේ සම්බන්ධයෙන් කෑගල්ල සහකාර ගොවිජන සේවා නිලධාරී චමින්ද කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ අදාළ සිදුවීම ගැන සොයා බලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟද සාකච්ජා කර ගොවීන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දීමට අද දිනයේදි කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අසුපිනි ඇල්ල ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන කොටසේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙස රක්ෂිත වනාන්තර සුරැකීමට සහ පවතින ජල උල්පත් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කළ යුතුව පවතින බව මා ඔය සහ කුඩා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාවල මහතා පවසයි.

මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT