Home » දේශීය පාවහන් නිෂ්පාදකයා රැකගැනීමට රජය උපරිම සහාය දිය යුතුයි

දේශීය පාවහන් නිෂ්පාදකයා රැකගැනීමට රජය උපරිම සහාය දිය යුතුයි

by sachintha
May 7, 2024 1:35 am 0 comment

පාවහන් සහ නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක සභාවේ සභාපති එන්. පී. නෙවිල් පෙරේරා

රටේ සමස්ත ජනතාවගේ පාවහන් අවශ්‍යතාවේ වටිනාකම රුපියල් බිලියන 150ක් වන අතර, එයින් සියයට 75ක් පමණ සපයන දේශීය නිෂ්පාදකයා රැකගැනීමට රජයේ උපරිම සහයෝගය දිය යුතු බව පාවහන් සහ නිෂ්පාදකයන්ගේ සංගමයේ උපදේශක සභාවේ සභාපති එන්. පී. නෙවිල් පෙරේරා මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“මෙරට පාසල් සිසුන් ලක්ෂ හතළිස් පහකටත්, යුද හමුදා පොලිසිය ඇතුළු ප්‍රධාන පෙළේ ආයතනවලටත් පාවහන් සපයන දේශීය නිෂ්පාදකයාට තීරු බදු සහන නොලැබීම, ප්‍රමිතියකින් තොර විදේශීය පාවහන් අඩු මුදලට මෙරටට ගෙන ඒම සහ අමුද්‍රව්‍යයන් ගැනීමේ අපහසුතා ආදිය නිසා පාවහන් නිෂ්පාදනයෙන් ඈත්වීමේ අවදානමක් පවතිනවා.

මෙරටට වසරකට අවශ්‍ය රබර් සෙරෙප්පු මිලියන විසි පහක් පමණ සපයන දේශීය නිෂ්පාදකයා රැකගැනීමත්, නිෂ්පාදනය කිරීමට අපහසු අමුද්‍රව්‍යයන් මෙරටට ගෙන්වීමට තීරු බදු සහන දීමත්, විදේශ පාවහන් ගෙන්වීමේදී ඒවාට ප්‍රමිතිය මෙන්ම සීමා පැනවීමත් අවශ්‍යයි.

අද වන විට කඩි මුඩියේ අත්සන් කරන්නට සුදානම් වන වරණිය වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින් ඇති වන බලපෑම් නිසා අපේ කර්මාන්ත නැවතත් අඩාළ වේ දැයි සැකයක් පවතිනවා. දැනටමත් ඉන්දියාව, සිංගප්පූරුව, පාකිස්තානය සහ තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. චීනය, මැලේසියාව සහ ඉන්දුනීසියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් සහ බංග්ලාදේශය සමඟ වරණිය ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරගෙන යනවා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කරන්නේ අප ණය ගත් රටවල් සමඟයි.

මේ තත්ත්වය යටතේ මහා පරිමාණ කර්මාන්තකරුවන් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඈත්ව වඩාත් පහසු කාර්යයක් වන නිෂ්පාදන ආනයන සඳහා යොමු වෙනවා. ඒවායින් වෙළෙඳපොළ පිරී ඉතිරි ගොස් දැනට සිටින දේශීය සුළු සහ මධ්‍ය කර්මාන්තකරුවන් දේශීය වෙළෙඳපොළින් අතුරුදන් වී යනවා.

මේ කර්මාන්තයෙන් සෘජුව සහ වක්‍රව ලක්ෂ 3ක පමණ ජනතාවක් සේවය කරනවා. ආනයන ආර්ථිකයකට රට යොමු වුවහොත් මේ ක්ෂේත්‍රයේ රැකියා කරන සහ එයින් යැපෙන ජනතාවට සිදු වන අසාධාරණයට මේ ගිවිසුම් අත්සන් කරන නිලධාරීන් වගකියනවාද?

බොහෝ රටවල් මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රථම ඒ ඒ රටවලට මේ ගිවිසුම් නිසා වන යම් පාඩුවක් ඇත්නම් ඒවා අවම කිරීමට ආනයනික තීරු බදු අවම කිරීම හෝ ඉවත් කිරීම් යොදා ගන්නවා. නමුත් අපේ රටේ කර්මාන්තකරුවන් මෙවැනි කොතරම් ඉල්ලීම් කර ඇතත් ඒවා තවමත් ඉටු කර නෑ.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT