Home » මිනිපේ ගොවි ජනපදයේ පිහිටි අබලන් ගොඩනැඟිලිවලින් වැඩක් ගන්න

මිනිපේ ගොවි ජනපදයේ පිහිටි අබලන් ගොඩනැඟිලිවලින් වැඩක් ගන්න

by sachintha
May 7, 2024 2:53 am 0 comment

මිනිපේ ගොවි ජනපදයේ පිහිටි වටිනාකම් අතින් ඉහළ අගයක් ගන්නා විනාශය කරා යමින් තිබෙන සුළු ප්‍රතිසංස්කරණයකින් පසු ප්‍රයෝජනයට ගත හැකි ගොඩනැඟිලි පිළිබඳව අවධානයක් යොමු කරන්නැයි ගොවි සංවිධාන නියෝජිතයෝ අදාළ අංශ වෙතින් ඉල්ලා සිටිති.

විවිධ රාජ්‍ය ආයතනයන්ට අයත් කුඩා නඩත්තුවකින් පසු ප්‍රයෝජනයට ගත හැකිව තිබූ මහජන සේවා සපයන ලද කාර්යාල, නිල නිවාස, ව්‍යාපාරික වශයෙන් ක්‍රියාත්මක වූ ගොඩනැඟිලි කෙරෙහි අදාළ බලධාරීන් අවධානයක් එකල යොමු නොවීම හේතුවෙන් වාරිමාර්ග, ගොවිජන සේවා, සෞඛ්‍ය හා කුඩා කර්මාන්ත යන දෙපාර්තමේන්තුවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ විශේෂ ව්‍යාපාර අධිකාරී කාර්යාලයට හා වී අලෙවි මණ්ඩලය වැනි ආයතනයන්ට අයත් දේපළ මෙසේ විනාශයට පත්වෙන ගොඩනැඟිලි වන බවද ඔවුහු පවසති.

මේ ගොඩනැඟිලි අතර සංචාරක අතින් ඉහළ වැදගත් කමක් තිබෙන ගොඩනැඟිලිද තිබෙන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. විශේෂයෙන් 30 දශකයේ මිනිපේ ගොවි ජනපදය ආරම්භක යුගයේ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිදුන් ජනපදයට හදිසි සංචාරයට පැමිණි විට නවාතැන් ගත් බව කියන දැනට මිනිපේ ව්‍යාපාර අධිකාරී කාර්යාලය යටතේ තිබෙන එම කාර්යාලය අසල පිහිටි සංචාරක ගොඩනැඟිල්ලද අද විනාශයට පත්ව තිබෙන බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මිනිපේ ජනපදයට සම්පතක් වූ ජනපදවාසීන් හට සහ දැයේ දරුවන්ට ප‍්‍රයෝජනයක් බවට පත් වෙන මෙම වටිනා ගොඩනැඟිලි නැවත ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට ඒ ඒ ආයතන පියවර ගැනීම කාලෝචිත බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මේ සම්බන්ධයෙන් මිනිපේ ප්‍රාදේශීය සභවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා ප‍්‍රකාශ කළේ මේ සියලුම ගොඩනැඟිලි පිළිබඳව සමීක්ෂණයක් සිදු කර අදාළ තොරතුරු ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවට ඉදිරිපත් කර සුදුසු තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.


හසලක සමූහ

ඊ.එම්.එස්. ඒකනායක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT