Home » මහරගම වසා දැමූ ඒජන්සියක තිබූ පාස්පෝට් 150ක් කානුවක තිබි හමුවේ

මහරගම වසා දැමූ ඒජන්සියක තිබූ පාස්පෝට් 150ක් කානුවක තිබි හමුවේ

by sachintha
May 7, 2024 2:51 am 0 comment

විදේශගත කරන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකොට දැනට වසා දමා ඇති මහරගම වත්තේගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව පැවසෙන විදේශ රැකියා ආයතනයක තිබූ විදේශ ගමන් බලපත්‍ර සියයකට අධික ප්‍රමාණයක් මහරගම ප්‍රදේශයේ ජල බස්නා කානුවක තිබී විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු අහුලාගෙන ඇතැයි වාර්තා වේ.

එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිසිය කියයි.

මහරගම වත්තේගෙදර හන්දියේ පවත්වාගෙන ගිය ආර්. වී. මෑන්පවර් නමින් ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් සිංගප්පූරුව ඇතුළු රටවල්වල රැකියා සඳහා විදේශගත වීමට පුද්ගලයින් රැසක් විදේශ ගමන් බලපත්‍ර හා මුදල් ලබා දී තිබේ. එහෙත් පොරොන්දු වූ පරිදි රැකියා සඳහා පුද්ගලයින් විදේශගත කිරීමට නොහැකිවීම නිසා එම ආයතනය මේ වන විට වසා දමා එහි හිමිකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එම ආයතනයේ තිබූ විදේශ ගමන් බලපත්‍ර තොගය මෙසේ මහරගම ප්‍රදේශයේ ජල බස්නා කානුවකට දමා එහි හිමිකරු පලා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මහරගම වත්තේ ගෙදර හන්දියේ පවත්වාගෙන ගිය මෙම විදේශ රැකියා ආයතනය හිමිකරුගේ මුල් පදිංචිය මත්තේගොඩ කුඩමාදුව ප්‍රදේශයේ වන අතර ඔහු අවසන් වරට පදිංචිව සිට ඇත්තේ පොල්ගස්ඕවිට සියඹලාගොඩ ජෑම්ගස් හන්දිය ආසන්නයේ බවට තොරතුරු වාර්තා වේ.

මොහුට අයත් විදේශ රැකියා ආයත‍යෙන් පුද්ගලයින් විදේශ රැකියා සඳහා යවන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති අතර එම පුද්ගලයින් විදේශ රැකියා සඳහා යැවීමට නොහැකි වී ඇති අතර එම වංචාවට හසුවූ පුද්ගලයින් විසි දෙනෙකු පමණ මහරගම පොලිසියේ පැමිණිලි කර තිබූ අතර සියයකට ආසන්න පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ද පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැකකරු මහරගම පොලිසියට කැඳවා පැමිණිලි විභාග කර ඇති අතර එහිදී ලබාගත් මුදල් යළි ලබා දෙන බවට පොලිසිය ඉදිරියේ ලිඛිතව පොරොන්දු වීම නිසා පැමිණිලි සමථයකට පත් කරගෙන තිබිණි. එහෙත් පොරොන්දු වූ මුදල් යළි ලබා නොදුන් බවට යළි යළිත් පැමිණිලි ලැබීම නිසා සැකකරු අවස්ථා කිහිපයකදී නුගේගොඩ අධිකරණයට පවා ඉදිරිපත් කොට අධිකරණය හරහා ද මුදල් ගෙවන ලෙසට නියෝග කර තිබේ.

ඒ අනුව සුළු පිරිසකගෙ මුදල් යළි ලබා දුන්නද වැඩි පිරිසකගෙන් ලබාගත් මුදල් යළි ලබා නොදීම නිසා ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවා මුදල් වංචාවට හසුවූ පුද්ගලයින් පැමිණිලි කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ ආයතනයට නිකුත් කර තිබූ බලපත්‍රය පවා අහෝසි කිරීමට ද පසුගියදා පියවර ගෙන තිබේ.

මෙලෙස සිය බලපත්‍රය අහෝසි කිරීම නිසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගැනීමට හෝ පුද්ගලයින් විදේශගත කිරීමට හෝ නොහැකි නිසා අපහසුතාවට පත් සැකකරු මීට දින කිහිපයකට පෙර විදේශ රැකියා ආයතනය වසා දමා එහි තිබූ ගමන් බලපත්‍ර 150ක් පමණ මහමඟ අතහැර දමා ප්‍රදේශයෙන් පලා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මේ අතරතුරදී ඉකුත් 02 දා මිරිහාන පොලිසියේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය පොලිස් සැරයන්වරයකු බව පවසා පුද්ගලයකු මත්තේගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් දී තිබේ. එහිදී ඇමතුමෙන් පවසා ඇත්තේ Òසර් මම මිරිහාන පොලිසියේ වැඩ කරල දැන් පෙන්ෂන් ගියපු පොලිස් සැරයන්වරයෙක්, මම රට යන්න කියලා මහරගම වත්තේගෙදර ඒජන්සියකට පාස්පෝට් එකයි සල්ලියි දුන්නා. නමුත් රට යන්න බැරි උනා, දැන් ඒජන්සිය වහලා.

ඒ නිසා මම දිගින් දිගටම ඒජන්සියට කතා කරලා සල්ලි ඉල්ලුවා දුන්නේ නෑ. ඊට පස්සේ මගේ පාස්පෝට් එක හරි දෙන්න කිව්වහම මට කිව්වා මහරගම අතුරු පාරක පාස්පෝට් එක තියන්නම් ගිහින් ගන්න කියලා. ඒ අනුව මම එම ස්ථානයට ගිහින් බලද්දි ලොකු පාර්සලයක් තිබුණා ඒක ගලවලා බලද්දි එහි පාස්පෝට් 150ක් විතර තිබුණා. මේක අපි මීඩියා දාලා ප්‍රසිද්ධ කරල ඒජන්සිකාරයා ගැන ප්‍රචාරය කරමු යැයි යෝජනා කර තිබේ.

එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මත්තේගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී නොතිබීමත් අදාළ පාර්සලය මත්තේගොඩ ප්‍රදේශයේ තිබී අහුලා නොගත් නිසාත් පොලිස් නිලධාරියා ඇමතුම දුන් පුද්ගලයාට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් වහාම මහරගම පොලිසියට ගොස් පැමිණිල්ලක් කරනා ලෙසටයි. එහෙත් මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ උසස් පොලිස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ මෙසේ පාස්පෝට් තොගයක් හමුවූ බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT