Home » ජපන් සංස්කෘතික හුවමාරු වැඩසටහනකට ඉඹුල්ගොඩ රාජසිංහ විදුහලෙන් කණ්ඩායමක්

ජපන් සංස්කෘතික හුවමාරු වැඩසටහනකට ඉඹුල්ගොඩ රාජසිංහ විදුහලෙන් කණ්ඩායමක්

by sachintha
May 7, 2024 1:58 am 0 comment

ගම්පහ ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ සංස්කෘතික හුවමාරු වැඩසටහනකට සහභාගී වීම සඳහා ජපානයෙන් ශිෂ්‍යත්වයක් හිමි වූ අතර, ඒ සඳහා මැයි මස 7 වැනි දින ජපානයේ ටෝකියෝ නුවර බලා සිසු සිසුවියන් සිව් දෙනකු හා විද්‍යාලයීය ජපන් භාෂාව උගන්වන ගුරු මහත්මිය සහභාගී වීමට නියමිත බව විදුහල්පති අමරවීර මුදලිගේ මහතා සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහිතව එම සංචාරයට සුසර සත්සර කුසල් ජයකොඩි, කේ.ජී. ශවිඳු අකලංක, එච්.ඩී. දිලෝමි දිලන්මා අබේසිංහ, එච්.එම්. ඉඳූෂා දිල්මිණී යන සිසු සිසුවියන් සිව්දෙනා සහ විද්‍යාලයීය ජපන් භාෂාව භාර ආචාරිනී වින්ද්‍යා මංචනායක මහත්මිය ද එක් වීමට නියමිතය. මෙය සෑම වසරකම ජපානයේ ‘Hakuhodo’ පදනම හා ජපන් පදනම විසින් ලෝකයේ විවිධ රටවල ජපන් භාෂාව හදාරන සිසුන් සහිත පාසල්වලට පිරිනැමෙන ශිෂ්‍යත්වයකි. ඔවුහු දින 14ක් ජපානයේ Olympic Centre හිදී තවත් රටවල් 11ක සිසුන් සහ ජපන් සිසුන් සමඟ සංස්කෘතික හුවමාරු වැඩසටහනකට සහභාගී වෙති. එහිදී ඔවුන් ශ්‍රී ලාංකික උඩරට, පහතරට නැටුම් අංගයන් ඉදිරිපත් කරන අතර සම්ප්‍රදායික සංස්කෘතිකාංග සහ ද්විතීයික පාසල් අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ජපානය හා අනෙකුත් රටවල්වලට හඳුන්වා දීමට නියමිතය. මෙවැනි වැඩසටහන්වලට සිසුන් සහභාගී කරවීමෙන් විවිධ ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගත හැකි බවත්, ජපානය වැනි දියුණු රටවල සංකල්ප, සදාචාරධර්ම අප රටේ ඉදිරි පරම්පරාවේ උන්නතිය සඳහා යොදා ගැනීමට හැකි වන බවත් විදුහල්පති මුදලිගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT