Home » නිවී ගොස්ය එ-මහ පැණසරය…

නිවී ගොස්ය එ-මහ පැණසරය…

by sachintha
May 8, 2024 1:23 am 0 comment

මීට දින කිහිපයකට පෙර අ‍ෙමරිකාවේදී මියගිය මහාචාර්ය නලින් ද සිල්වා ගුරුතුමන් ගැන ඔහුගේ සිසුන් හා හිතෛෂීන් සමාජ මාධ්‍යයේ විවිධ අදහස් පළ කොට තිබේ.

එම අදහස්වලින් උපුටා ගත් ලිපියක් මෙහි දක්වා සිටිමු. මේ සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන ලලිත් විජේසිංහ දැක් වූ සටහනයි.

එවකට මා මහනුවර ධර්මරාජයේ අවුරුදු පහළොවක ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලබමින් සිටින අවධියේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියක් ඇස ගැටිණි. එහි වූයේ ගුරුත්වාකර්ෂණ වාදය සත්‍ය නම් මහසොහොන් වාදය ද සත්‍ය බව යි. මේ මාතෘකාව දුටු සැණින් එලිපිය මා කියැවූයේ එය විප්‍රකාර අදහසක් යැයි සිතූ හෙයිනි.

මන්ද?

මහසොහොන් කතාව මිථ්‍යාවක් ලෙසත් ගුරුත්වාකර්ෂණ වාදය සපුරා සත්‍යයක් බවත් එකල මගේ අදහස වූ හෙයිනි.

මහසොහොන් කතාව සහ ගුරුත්වාකර්ෂණ වාදය එක හා සමාන සත්‍යයන් වන්නේ කෙසේදැයි ඒ ලිපියෙන් අවසන කියැතැයි යන අදහසක් මසිත විය.

එහෙත් ඒ ලිපිය අවසානයේ මට හැඟී ගියේ මහසොහොන් කතාව සහ ගුරුත්වාකර්ෂණ වාදය යන කතා දෙකම ලොවෙහි සිදුවන දේවල් දෙකක් පිළිබඳව මිනිසුන්ගේ සිතීම් මතින් ගොඩනඟන ලද වියුක්ත සංකල්ප, එනම් මනසින් ගොඩනඟන සංකල්ප දෙකක් බව ය. ඒවාහි ඇති සමානත්වය, සත්‍යය එය බවයි එහි වූයේ. එලිපිය ලියා තිබුණේ ආචාර්ය නලින් ද සිල්වා යි.

ඉහත ලිපියේ මාතෘකාවෙන් කියැවෙන දේ තේරුම් ගැනීමට නම් එහි Òනම්Ó යන වචනයට වැඩි බරක් දිය යුතුය.

යම් වාක්‍යයක් එහි ඇති ආකාරයෙන් ම තේරුම් ගැනීම සඳහා ඒ වාක්‍යයේ සෑම අකුරක් ම වචනයක් ම තිතක් ම කොමාවක් ම දැක, සිතා ඒ අනුව එය තේරුම්ගත යුතු යැ යි එදා මට වැටහිණි. ලිපියෙහි මුල සිට අග දක්වා ම වූයේ අපූර්වත්වයකි.

එහෙයින්ම එතැන් පටන් සොය සොයා නලින් ද සිල්වා සර්ගේ ලිපි කියැවීමට පටන් ගතිමි. දිනපතා දිවයින, විශේෂයෙන් බදාදා අතිරේකයේ සහ ඉරිදා දිවයිනෙහි සර්ගේ ලිපි නිතර පළ විය.

පසුව නලින් සර් විදුසරටත් ඉන්පසුව කාලය වෙබ් අඩවියටත් දිගට ම ලිවීය. දැක්ම, චින්තනය, ජාතික චින්තනය, සංයුක්ත – වියුක්ත චින්තනය, සාපේක්ෂ – නිරපේක්ෂ සත්‍යය, සංශ්ලේෂණය හා විශ්ලේෂණය, ජාතික වාදය, ද්වීකෝටිකය – චතුස්කෝටිකය නිර්මාණාත්මක සාපේක්ෂතා වාදය ආදිය ගැන මා දැනගන්නට පටන් ගත්තේ ඒ ලිපි කියැවීමෙනි.

ලෝකයේ ඒකීය, එනම් නිරපේක්ෂ සත්‍යයක් නොමැති බවත් ඇත්තේ සාපේක්ෂ සත්‍යයන් බවත් එතුමාගේ මතය විය. ලෝකයේ සෑම දැනුම් දහරාවක ම අලුත් දැනුමක් බිහිවන්නේ එය Òසත්‍ය‍යÓ නිසා නොව එය ප්‍රසිද්ධ කරවීමෙන් හෝ පැරණි දැනුම ගුරුකොටගත්තන් මිය යාමෙනැයි එතුමා කීය.

බොරුව සහ මුසාව යනු දෙකක් බවත් පන්සිල්හි ඇත්තේ මුසාවෙන් වැළකිය යුතු ය යන්න බවත් එහෙත් පැවැත්මේ දී අප බොරු කියන බවත් කොතැන කොයි මොහොතකවත් නැති ÒමමÓ යන්න ද බොරුවක් බවත් එමෙන් ම Òබටහිර විද්‍යාවÓයන්න ද ඊටත් එහාගිය බොරුවක් හෙවත් Òපට්ටපල් බොරුවක්Ó බවත් එතුමා කීය.

මේ වාක්‍යයේ වචනාර්ථය පමණක් මතුපිටින් ගෙන එහි ගැඹුරු අර්ථය නොතේරුම් ගත් බොහෝමයක් කළේ ඊට තදබල ලෙස පහරගැහීම ය.

එය අසත්‍යයි නම් බටහිර විද්‍යාවෙන් අපි වැඩ ගන්නේ කෙසේදැ යි ඔවුන් නිරන්තරයෙන් ඇසූ පිළිතුරට එතුමා දුන් පිළිතුර වූයේ එය Òනැති මමගෙන්Ó, එනම් Òපණවා ගත් මමගෙන්Ó වැඩ ගන්නවා මෙන් ම බටහිර විද්‍යාවෙන් ද වැඩ ගැනීමක් යන්න යි.

එහෙත් මේ පැහැදිලි කිරීම් ඔවුනට කිසිවිටක තේරුණේ නැත;

තේරුම් ගත්ත ද ඊට එරෙහිවීම නතර කළේ නැත.

අපගේම චින්තන ධාරාවක්, ජාතික චින්තනයක් ගොඩනැඟීම නලින් සර්ගේ මූලික ම අදහස විය. එහි පදනම විය යුත්තේ බුදුදහම සහ සිංහල බෞද්ධ සංස්කෘතිය බැව් සර්ගේ අදහස විය. නූතන බටහිර චින්තනයේ ආධිපත්‍යයෙන් අප මිදිය යුතු බවත් අප කළ යුත්තේ ඒවා අපට අනුගත කරගැනීම මිසක් ගෙඩිපිටින් අනුකාරකත්වයෙන් ගැනීම නොවන බවත් කීවේය.

අප ගොඩනඟාගන්නා දේශීය චින්තනයෙන් මෙරට සිංහල ජාතියටත් දෙමළ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසී ආදි සෑම ජනවර්ගයකටමත් නිවහල්, නිදහස් ස්වකීය වූ ජීවිතයක් ලැබෙන බව සර්ගේ අදහස විය. අපේ ප්‍රවාද යන්න එහි ප්‍රතිඵලයකි.

ඊට ප්‍රවේශයක් වූයේ එතුමාගේ චින්තනය ලෝකයට ප්‍රකට කරමින් පළ කළ Òමගේ ලෝකයÓ නම් කෘතිය ලිවීමෙනි.

මගේ ලෝකය වනාහි එතෙක් මෙතෙක් මෙරට තමා සහ ලෝකය පිළිබඳව දැක්ම පදනම්ව ලියැවුණ උත්කෘෂ්ටත ම ග්‍රන්ථය වන්නේය.

එතුමා හමුවීමට මා උසස් පෙළ හදාරන ශිෂ්‍යයකු ලෙස මුල්වරට මහරගම පිහිටි ඔහුගේ නිවසට ගියේ මගේ මිත්‍රවර පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් සමඟිනි. එදා පටන් කිහිපවරක් එතුමා මුණගැසුණ අතර බොහෝ වර දූරකතනයෙන් එතුමා හා සංකථනය කළේ මගේ දැක්මේ නිම්වළලු බොහෝ පුළුල් කරගනිමිනි.

එහෙයින් මගේ දැක්මට නලින් සර්ගේ බොහෝ අදහස් මහත් ආලෝකයක් විය. මට මෙභවයෙහි හමුවුණ විශිෂ්ටතම ගුරුවරුන් කීපදෙනාගෙන් නලින් සර් ද එක් අයෙකි.

වරක් එතුමා මා හා සංවාදයක යෙදෙමින් ප්‍රකාශ කළේ එතුමාට උප්පාද (ඉපදීම), භංග (බිඳීම) යන්න පිළිගත හැකි මුත්, ඨිති (පැවැතීම) යන්න පිළිගත නොහැකි බවය. හේතුව එවිට ඊට නිරපේක්ෂ ආත්මීය බවක් ලැබෙන බවත් එය බුදුදහමෙහි අනිත්‍යතා ධර්මතාවට පටහැනි බවත් ය.

මම ඒ අදහස පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන්ට යොමු කළෙමි. එහිමියෝ එතුමාණන්ගෙන් එක්වන ම ඇසුවේ එතුමාට එය සිතුණේ කෙසේ ද යන්න යි.

බුදුදහමේ කාරණා එක්ක සිතන විට එසේ සිතුණා යන්න එතුමාගේ පිළිතුර විය.

මෙය ඇසූ උන්වහන්සේ කීවේ ඔබතුමා නම් මහා ප්‍රාඥයෙක් ම තමයි, පෙළ පොත්හි ද එය ඇත්තේ ඨිතිය ලෙස නොව ඨිතස්ස අඤ්ඤ ථත්තං පඤ්ඤායති”, එනම් වෙනත් තත්ත්වලට පත්වන පැවැතීමක් ඇති බවය, එනම් ඇත්තේ පැවැතීමක් නොව නොපැවැතී වෙනස් වන පැවැතීමක් බව ය යන්න යි.

එවිට එය අනිත්‍ය ධර්මතාව හා සැසඳෙයි.

තවත් වරෙක එතුමා කීවේ ත්‍රිලක්ෂණයේ කියැවෙන තැන එන දුක්ඛ යන අර්ථයෙන් නොවන අර්ථයකින්, චතුරාර්‍ය සත්‍යයෙහි එන දුක්ඛ ආර්ය සත්‍ය යන තැන දුක්ඛ යන්න යෙදෙන බවයි.

එය ද එසේ බැව් ආචාර්ය පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් මවෙත එවූ සටහනක පැහැදිලි කර තිබිණි.

කවර කාරණයක් ගැන හෝ එතුමා සමඟ සාකච්ඡාවක් පවත්වන සෑමවිට ම අප පුදුමයට පත් වූයේ එතුමාගේ මේ විස්මිත විශ්ලේෂණාත්මක සහ සංශ්ලේෂණාත්මක සිතීම දැකීමෙනි.

පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් ද එවන් සාකච්ඡාවල දී නිරන්තරයෙන් පැවැසුවේ නලින් සර් තරම් කාරණාවක් සියුම් ව බෙදා තේරුම් ගෙන සමස්තය සමඟ එය සංගත කර ඒ දෙය තේරුම් ගැනීමේ විසල් පරිකල්පනයක සිටින වෙනත් පුද්ගලයකු හමුනොවූ බව ය. අතිශය පුළුල් වූ චින්තනයකින් සහ පරිකල්පනයකින් ද ඉතා විසල් මතක ශක්තියකින් ද හෙබි මෙබිමෙහි සිටි අග්‍රගණ්‍ය වියතුන් දෙපලක් ම මගේ දැක්මේ ගුරුවරුන් කරගන්නටත්‍ ඔවුන්ගේ ඇසුර ලබන්නටත් මට මහත් වාසනාවක් හිමිවිය.

ඉන් එක් අයෙකි නලින් ද සිල්වා වියතාණන්.

මෙරටින් බිහි වූ මහා ප්‍රාඥයකු වූ අතිශය විරල ගණයේ සුවිශිෂ්ට දාර්ශනිකයකු තම දිවිසැරිය අද නිම කර තිබේ.

එවන් යුග පුරුෂයකුගේ ප්‍රඥාවෙන් මෙරටට ප්‍රමාණවත් තරම් වැඩක් ගත්තාදැයි සුපුරුදු පැනය යළිත් වරක් ඇසිය යුතු ය.

නලින් ද සිල්වා ඇදුරුතුමන්ට නිවීම වේවා…!

වෛද්‍ය ලලිත් විජේසිංහ

ස්නේහප්‍රදාහිදී,

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT