Home » කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගයක් නිකුත් නොකෙරේ
හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව

කෙහෙළියගේ ඇප ඉල්ලීම ගැන නියෝගයක් නිකුත් නොකෙරේ

-පෙත්සම අභියාචනාධිකරණ සභාපති වෙතට

by sachintha
May 8, 2024 1:23 am 0 comment

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහත්වරු ඇප මත මුදා හරින ලෙස කර ඇති අතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය ඊයේ (07) තීරණය කළේය. එම නියෝග ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ඒ සඳහා අදාළ ඉල්ලීම ඇතුළත් පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා හමුවේ කැඳවන ලදි. එහිදී විනිසුරුවරයා සඳහන් කළේ අදාළ නියෝගය සකස් කිරීම සඳහා තමන්ට ප්‍රමාණවත් කාලයක් නැති බවය. ඒ අනුව සුදුසු පියවර ගැනීම සඳහා අදාළ පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත පෙත්සම් යොමු කිරීමට තීරණය කළ බව ද විනිසුරුවරයා සඳහන් කළේය. විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා ඉදිරියේ දී විශ්‍රාම ගැනීමට නියමිතය.

නඩු විභාගය අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක මහතා විසින් අභියාචනාධිකරණයට මේ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්, අධිකරණයේ රෙජිස්ට්‍රාර්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නීතිපති ඇතුළු පිරිසක් නම් කර සිටිති.

පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය කටයුතු කළ බවය.

අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ බව පෙත්සම්කරුවෝ කියති.

එකී නියෝගයට එරෙහිව ඇප ඉල්ලීමක් එම අධිකරණයට ගොනු කළ අතර ඉකුත් මාර්තු මස 13 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය මේ නඩුව අවසන් වන තෙක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ බව පෙත්සම්වල සඳහන් වේ.

පොදු දේපළ පනත යටතේ ගොනු කළ නඩුවකට අදාළව සැකකරුවකුට එම නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවට පෙත්සම් මඟින් කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව තමන් අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය නීතියට පටහැණි සහ අසාධාරණ, අයුක්ති සහගත නියෝගයක් බවට පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ.

පොදු දේපළ පනතේ අදාළ නඩුව පවත්වාගෙන යෑම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සහතික පත්‍රයක් ඉදිරිපත් කළ බව ද එය නීති විරෝධී බව ද පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.

එබැවින් තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය සහ පොදු දේපළ පනතේ නඩුව පවත්වාගෙන යෑමට සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරිපත් කළ සහතිකය බල රහිත කරන ලෙසද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් තවදුරටත් ඉල්ලා සිටිති.

මේ පෙත්සම් සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා හමුවේ සිදු කළ අතර ඔවුන් ඇප මත මුදා හරින ලෙස කරන ඉල්ලීම සහ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT