Home » වැලිගම කුෂ්ටරාජගල 78 හැවිරිදි අවිවාහක කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කරලා

වැලිගම කුෂ්ටරාජගල 78 හැවිරිදි අවිවාහක කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කරලා

by sachintha
May 8, 2024 1:22 am 0 comment

 

වැලිගම පොලිස් වසමේ කුෂ්ටරාජගල ප්‍රදේශයේ අංක 68 නිවසට නාඳුනන පුද්ගලයෙකු ඇතුළු වී නිවෙස මංකොල්ලකා පසුව නිවසේ සිටි කාන්තාවගේ අත්පා බැඳ දමා අබිරහස් ලෙස ඝාතනය කොට නිවසේ කාමරයක් තුළ දමා තිබූ බව පොලිසිය පවසයි.

මෙලෙස අබිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වැලිගම කුෂ්ටරාජගල ප්‍රදේශයේ පදිංචි වැල්ලකංකානම්ගේ සීලලතා ලාලනී නමැති වයස 78 පමණ වූ අවිවාහක කාන්තාවක් බවට හඳුනාගෙන තිබේ. අබිරහස් ලෙස ඝාතනය කොට තිබූ කාන්තාව සිය සහෝදරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ ජීවත්ව ඇත.

සිය සහෝදරිය සහ සහෝදරියගේ ස්වාමිපුරුෂයා (මස්සිනා) ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෙරේදා (06) රාත්‍රී 8:30ට පමණ වැලිගම නගරයට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුරදී මෙම සිදුවිම සිදු වී ඇති බවට සඳහන් වෙයි.

මියගිය කාන්තාවගේ මළ සිරුර වැලිගම වලාන රෝහලේ තැන්පත් කොට ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාතර මහ රෝහලේදී සිදු කිරීමට නියමිතය.

මෙම සිදුවීම සමඟ මෙම ප්‍රදේශයේම ව්‍යාපාරිකයකුට අයත් නිවසක් මංකොල්ලකෑම සඳහා කිසියම් පුද්ගලයෙකු දොර ජනෙල් කඩා බිඳ දමා නිවසට ඇතුළු වී තිබේ. එහිදි නිවැසියන් දැක පලා ගොස් තිබූ අතර, ඔහු රැගෙන එන ලද බවට සැක කරන පාවහන් යුගලක්, ඇඳුම් කීපයක්, ඖෂධ පැකට් කිහිපයක් හා රන් මුදුවක් ඇතුළු ද්‍රව්‍ය කිහිපයක් දමා ගොස් තිබියදී හමුවී තිබේ.

කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ මෙහෙයවති.

වැලිගම – අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT