Home » නීති විරෝධීව උපයාගත් ලක්ෂ 100ක වාහන ළඟ තබාගත් අයෙක් කොටු

නීති විරෝධීව උපයාගත් ලක්ෂ 100ක වාහන ළඟ තබාගත් අයෙක් කොටු

by sachintha
May 8, 2024 1:19 am 0 comment

නීති විරෝධී ජාවාරම්වලින් උපයාගත්, මුදලින් ලබාගත් රුපියල් ලක්ෂ සීයක් වටිනා වාහන කීපයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු මුදල් විශුද්ධිකරණය පනත යටතේ හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේදී පෙරේදා (06) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු සතුව තිබූ අධි සුඛෝපභෝගී වෑන් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සැකකරු හිඟුරක්ගොඩ උල්පත්ගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයකු වන අතර ඔහු සතුව ගංජා කිලෝග්‍රෑම් 01යි, ග්‍රෑම් 50ක් ළඟ තබාගෙන සිටියදී හිඟුරක්ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරූ බවද ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු දීර්ඝ කාලයක් ගංජා හා නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණා ඉන් ලබාගත් මුදල්වලින් මෙම වාහන ලබාගත් බවට බුද්ධි අංශ හා පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන අතර ඔහුට වෙනත් ආදායම් මාර්ගයක් නොමැති අතර සැකකරුට විරුද්ධව මින්නේරිය හා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානවල පැමිණිලි කිහිපයක් තිබෙන බවද කොට්ඨාස විමර්ශන අංශය සඳහන් කරයි.

අත්අඩංගුවටගත් වාහන හිඟුරක්ගොඩ පොලිස් ස්ථානයට නඩු භාණ්ඩ වශයෙන් ලබා දී තිබෙන බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඒ. ටී. බණ්ඩාර මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT