Home » ගාල්ලේදී විවෘත වූ 4 වැනි ශාක නිරෝධායන මධ්‍යස්ථානය

ගාල්ලේදී විවෘත වූ 4 වැනි ශාක නිරෝධායන මධ්‍යස්ථානය

by sachintha
May 8, 2024 1:07 am 0 comment

ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදේශකත්වයෙන් ආරම්භ කළ ශාක නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකළ සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය පසුගියදා (03) ගාල්ල තැපැල් කාර්යාල පරිශ්‍රයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ශාක නිරෝධායන සේවාව මෙතෙක් කොළඹට සීමාවී තිබූ අතර, මේ නිසා උතුර, නැඟෙනහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල ජනතාවට ශාක නිරෝධායන සේවා ගැනීමේදී විශාල මුදලක් දරමින් කොළඹට පැමිණීමට සිදු විය. විශේෂයෙන් ශාක සහ ශාක ආශ්‍රිත නිෂ්පාදන ද්‍රව්‍ය තැපැල් සේවාව ඔස්සේ විදේශ රටවලට යැවීමේදී තමන් මහත් අසීරුතාවට පත්ව සිටින බව ජනතාව ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණිලි කර තිබිණි.

මෙම තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශාක නිරෝධායන සේවාව ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීමට කොළඹ මධ්‍යම තැපැල් කාර්යාලයට අමතරව නව ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුනක් යාපනය සහ මහනුවර තැපැල් කාර්යාල ආශ්‍රිතව ද මින් පෙර විවෘත කරනු ලැබීය.

සිව්වන ශාක නිරෝධායන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් පළ කළ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මෙතෙක් ශාක නිරෝධායන සේවාව කොළඹට පමණක් සීමා වුණා. මේ නිසා අප රටේ අනෙකුත් පළාත්වල ජනතාවට ඉතාමත් දුරබැහැර සිට මේ සේවාව ගැනීමට කොළඹට පැමිණීමට සිදු වුණා. නමුත් මහජනතාව කළ ඉල්ලීමක් පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ කෙටි කාලයේ උතුර, මධ්‍යම සහ දකුණු පළාත්වල ප්‍රාදේශීය කාර්යාල තුනක් විවෘත කළා. දැන් ශාක නිරෝධායන සේවාව ගැනීමට එම ජනතාවට කොළඹට පැමිණිය යුතු නෑ.

අද අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල නැවතත් ස්ථාවර වෙමින් තිබෙනවා. සංචාරක හෝටල් සිය ගණනක් වැහුණා. නැවතත් සංචාරක කර්මාන්ත ස්ථාවර වී තිබෙනවා. අපට පරිභෝජනයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක් අපේ රටේම නිෂ්පාදනය කරගැනීමට හැකිවී තිබෙනවා. මේ වෙනස අපි ඇති කර ගත්තේ කෙටි කාලයකදී. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඉතාමත් සාර්ථක වී තිබෙනවා. අඩුපාඩු ඇති. එම අඩුපාඩු හඳුනාගෙන කටයුතු කිරීමට රජය මැදිහත්වී කටයුතු කරනවා.”

මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කමණී රණතුංග මහත්ම මහත්මීහු සහභාගි වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT