Home » හිටපු සෙබළාගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි
විවාහ නොවී එකට ජීවත් වූ කත

හිටපු සෙබළාගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි

- දරු දෙදෙනාත් රැගෙන ගමට ගිහින්

by sachintha
May 8, 2024 2:44 am 0 comment

ඥාතීන් සොයාගන්නා තෙක් මළ සිරුර හොරණ රෝහලේ මෘත ශරීරාගාරයට

තිදෙනෙකු විසින් අතින් පයින් හා පොලු වලින් පහර දී ඝාතනය කළ වැඩ තහනමට ලක්ව සිටි හමුදා සෙබළාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ දේහය භාර ගැනීමට ඔහු සමඟ මෙතෙක් කලක් එකට ජීවත්ව සිටි කාන්තාව ප්‍රතික්ෂේප කර ඇය ඇගේ ඥාතීන් සමඟ දරු දෙදෙනා ද රැගෙන ඇගේ ගමට පිටත්ව ගිය බව තෙබුවන පොලිසිය පවසයි.

මේ නිසා ඔහුගේ ඥාතීන් සොයා ගන්නා තෙක් මළ සිරුර හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන ලෙස හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා විසින් තෙබුවන පොලිසියට නියෝග කළේය.

මෙසේ ඝාතනය කර ඇත්තේ ශානක කුරුප්පුආරච්චි නමැති තලහිටිය, බේගමුව, තාවකාලික ලිපිනයේ පදිංචිව සිටි 51 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු සමග මෙම කාන්තාව 2007 වසරේ සිට නිත්‍යානුකූලව විවාහ නොවී එකට ජීවත් වී ඇති අතර ඔහුගේ විවාහක බිරිඳ රිය අනතුරකින් මිය ගොස් ඇති බව තමන්ට ඔහු පැවසූ බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

ඔවුන් වසර එකහමාරක පමණ කාලයක සිට තලහිටිය ලිපිනයේ පදිංචිව සිට ඇති අතර හොරණ ප්‍රදේශයේ ද කුලී නිවෙස්වල පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසයි.

එසේ සිටින අතර මෙම කාන්තාව බස් රථවල පොත් විකුණා දරුවන් පෝෂණය කර තිබේ.

මියගිය පුද්ගලයා උඩුවර මෝටාව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ජපන් රටේ රැකියා ලබාදෙන බවට රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ලබාගෙන වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති අතර මුදල් ලබා ගත් පුද්ගලයා ප්‍රදේශයෙන් පලා යෑම නිසා උරණ වූ මුදල් දුන් පුද්ගලයින් විසින් පසුගිය තුන් වැනිදා නිවෙසට පැමිණ මෙම පහරදීම සිදුකර යතුරුපැදියෙන් මෝටාව ප්‍රදේශයට රැගෙන ගොස් පහරදී නිවසක් ඉදිරිපිට දමා ගොස් තිබිණි.

ලද තොරතුරකට අනුව තෙබුවන පොලිසියේ නිලධාරින් ගොස් තුවාලකරු ගල්පාත රෝහලට රැගෙන ගොස් ඇති අතර හොරණ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 05 දා ඔහු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට හැකි ඉක්මනින් ඔහුගේ ඥාතීන් සොයා ගැනීමට කටයුතු කරන බව තෙබුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දර මහතා පැවසුවේය.

හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT