Monday, May 20, 2024
Home » විවාහයේදී කුලේ වෙනුවට ලේ බලමු

විවාහයේදී කුලේ වෙනුවට ලේ බලමු

by sachintha
May 9, 2024 2:28 am 0 comment

ඊයේ ලෝක තැලසීමියා දිනයයි. සෑම වසරකම මැයි 08 දාට ලෝක තැලසීමියා දිනය යෙදී ඇත. මේ නිමිත්තෙන් අප අද කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුජ ප්‍රේමවර්ධන මහතා සමඟ සිදු කළ සංවාදයක් ඇසුරින් සකස් කළ ලිපියක් ගෙන හැර දක්වමු.

තැලසීමියාව යනු, ලේ අඩුවන, නීරක්තිය ඇති කරවන ජානගත රෝගී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ නීරක්තිය ඇති කරන සුලබම හේතුව යකඩ ඌනතාවයි. තැලසීමියාව එලෙස ලේ අඩු කරවන තවත් එක හේතුවකි. මෙහි විශේෂත්වය නම් තැලසීමියාව ජානගතය. පරම්පරාවෙන් පරම්පරාවට මේ රෝගය සම්ප්‍රේෂණය වේ. මෙය ප්‍රවේණිගත රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වනු ලබයි.

තැලසීමියා රෝගය ගෝලීය වශයෙන් ව්‍යාප්තව පවතින රෝගයක් වන අතර සමකය ආශ්‍රිත රටවල මෙම රෝගයේ බහුල ව්‍යාප්තියක් දැකගත හැකිය.අප්‍රිකාවේ,ආසියාවේ සෑම කලාපයකම රෝගීන් දක්නට ලැබේ.විශේෂයෙන්ම ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, අප්‍රිකානු රටවල, අරාබිකරයේ, දකුණු ආසියානු රටවල සහ අග්නිදිග ආසියාතික රටවල තැලසීමියා රෝගීන් වාර්තා වීම දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 3%කට බීටා තැලසීමියා තත්ත්වය පවතියි. ශ්‍රී ලංකාවේ සමහර දිස්ත්‍රික්කවල, සමහර පළාත්වල තැලසීමියා රෝගීන් සහ වාහකයින් වැඩිය. අනුරාධපුර, කුරුණෑගල, බදුල්ල, අම්පාර වගේ දිස්ත්‍රික්කවල තැලසීමියා වාහක ව්‍යාප්තිය දැකගත හැකිය. කළුතර,ගාල්ල, මාතර වැනි දිස්ත්‍රික්කවල තැලසීමියා වාහකයන්ගේ ප්‍රමාණය යම් තරමක් අඩුය. තැලසීමියා වාහකයෙක් නොමැති ප්‍රදේශ ශ්‍රී ලංකාවේ නොමැත. සෑම ප්‍රදේශයකම සුළු වශයෙන් හෝ තැලසීමියා රෝගීන් සිටී. නමුත් ව්‍යාප්තිය ඒකාකාරී නොවේ.

තැලසීමියාව රෝගය ජානගතය. ජානය පරම්පරාවෙන් පරම්පරාවට පැමිණෙන අතර මවගෙන් පියාගෙන් මීළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වේ. එය ඇති වන එකම ක්‍රමය වන්නේ මාපියන් දෙදෙනාම වාහකයන් වීමම පමණයි. තැලසීමියාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනා ගැනීමට හැකිය. අපට ජාන ලැබීමේදී මවගෙන් එක් කොටසක් සහ පියාගෙන් එක් කොටසක් ලැබෙන අතර එක පාර්ශ්වයකින් පමණක් රෝගී ජාන ලැබීමෙන් තැලසීමියා රෝගය වැලඳීම සිදු නොවේ. එක් ජාන කොටසක් ලැබෙන පුද්ගලයන් වාහකයන් ලෙස හඳුන්වනු ලබයි. මෙය සුළු තැලසීමියාව ලෙස හඳුන්වනු ලබයි. වාහකයන් දෙදෙනකු යම් අවස්ථාවක විවාහ වුවහොත් ඔවුන්ට මහතැලසීමියා වැලඳුණු දරුවෙකු ලැබේ. මවු පාර්ශ්වයෙන් සහ පිය පාර්ශ්වයෙන් රෝගී ජාන දෙකක් එකට එකතුවීමෙන් මහතැලසීමියා රෝගි දරුවෙකු බිහි වේ. මහතැලසීමියාව දරුණු රෝගී තත්ත්වයකි.

බාහිර ලක්ෂණ

එක පාර්ශ්වයකින් පමණක් නිලීන ජාන ලැබීමක් සිදු වුවහොත් එහිදී බාහිර ලක්ෂණ පෙන්නුම් නොකරයි. මහතැලසීමියාව ඉතාම දරුණු රෝගයකි. වාහකයන් දෙදෙනෙක් එකතුවීමෙන් හැදෙන දරුවෙක් ඉපදිලා මාස තුනක්, අවුරුදු එකහමාරක් ඇතුළත අනිවාර්යයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම දරුවන්ගේ ලේ වැඩීම ඉතා අවම වේ.

මෙම දරුවන් උපතේදීම නීරෝගි වේ. ඉපදී මාස තුනක්, හතරක්, පහක් උපරිම අවුරුද්දක් පමණ යන විට සුදුමැලිවීම, කහපාට වීම පටන් පටන්ගනී. දරුවා කෑම නොගැනීම, උරා නොබීම, නිතර නිතර ලෙඩවීම, උණ ගැනීම සිදු වේ. මෙවැනි රෝග ලක්ෂණ තිබෙන විට ඒ තැලසීමියා තත්ත්වයක් ද යන්න පිළිබඳව මවට අවබෝධයක් නොමැති විය හැකිය. නමුත් රුධිර පරීක්ෂණයකින් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවනි. ඉපදී පළ වෙනි අවුරුද්දේ සහ පළමු අවුරුදු එකහමාරකදී මහතැලසීමියා රෝගයේ රෝග ලක්ෂණ පහළ වේ. තැලසීමියා තත්ත්වය ඇති දරුවෙක් ජීවිතය ආරක්ෂා කරගැනීමට නම් අවම මාසයකට වතාවක් අඛණ්ඩව රුධිර පාරවිලයනය සිදු කළ යුතුයි. ඔවුන් යැපෙන්නේ ලේ ලබා දීම මතයි. නිසි වෙලාවට ලේ ලබා දීම සිදු නොකළහොත් මියයෑමට පවා ඉඩ ඇත.

තැලසීමියා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම, රෝගී තත්ත්වයෙහි බරපතළකම මත රඳා පවතී. මහතැලසීමියා රෝගීන් නිතිපතා රුධිර පාරවිලයනයත්, රුධිර පාරවිලයනය නිසා ශරීරයේ එකතුවන වැඩිමනත් (Extra) යකඩ ඉවත් කිරීමට ඖෂධ භාවිත කිරීමත් අවශ්‍ය වේ. එම නිසා රෝග ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කිරීම සහ නිසි ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත්ය. නිසි වෙලාවට, නිසි ප්‍රමාණයෙන් රුධිරය ලබා දීමට සිදු නොවුණහොත්, ශරීර අභ්‍යන්තරයෙහි ඇට මිදුළුවලින්, අක්මාවෙන්, ප්ලීහාවෙන් ලේ හදන්න උත්සාහ කිරීමෙන් ඇට මිදුළු ප්‍රසාරණය වී, මුහුණ විකෘති වීම් සිදු විය හැකිය. එමෙන්ම අක්මාව ප්ලීහාව විශාල විය හැකිය. මෙම සංකූලතා නිසා අභ්‍යන්තර ඉන්ද්‍රිය හානි, ආසාදන හා හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය. ලේ දන් දීමේ වැඩසටහන්වලින් ලබා ගන්නා ලේ වැඩිම ප්‍රමාණයක් පරිභෝජනය කරන්නේ තැලසීමියා රෝගීන්ය. ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් දෙදහසක් සිටින අතර මේ රෝගීන් 2000 පරිභෝජනය කරන රුධිර ප්‍රමාණය අනෙකුත් රෝගීන් සඳහා ලබා දෙන රුධිර ප්‍රමාණයට වඩා වැඩිය.

මොළේ මැලේරියාවට එරෙහිව සටන් කිරීමේ මාර්ගයක් ලෙස මෙම රතු රුධිරාණුවල ජානවල විකෘතිය ස්වාභාවිකවම මිනිසුන් තුළ සිදු වී ඇත. තැලසීමියා වාහකයන්ට මොළේ මැලේරියාව වැලඳීමේ අවදානම ඉතා අඩුය. තැලසීමියා වාහකයෙකුට මොළේ මැලේරියාව වැලඳුණ ද, මාරාන්තික අවදානම ඉතා අඩුය. අතීතයේ මොළේ මැලේරියාව විශාල වශයෙන් ව්‍යාප්ත වූ ප්‍රදේශවල තැලසීමියා වාහකයන්ගේ ජනගහනය ඉහළ මට්ටමක පවතින බව පර්යේෂණ මඟින් සනාථ කරගෙන ඇත.

තැලසීමියා වාහකයින්

තැලසීමියාව යනු ශ්‍රී ලංකාවේ බහුලතම ජානමය රෝගී තත්ත්වයකි. එසේම තැලසීමියාව යනු ඇතිවීම වළක්වා ගත හැකි රෝගී තත්ත්වයකි. මෙරට වෙසෙන තරුණ තරුණියන් විවාහ වීමට පෙර තමාට සුළු තැලසීමියාව තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමක් කළ යුතුයි. එලෙස සුළු තැලසීමියාව තිබෙනවා නම් සුළු තැලසීමියාව නොමැති කෙනෙක් සමඟ විවාහ විය යුතුය. දැනට ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටින වයස්ගතම මහතැලසීමියා රෝගියා වයස අවුරුදු 47 කි. එනමුදු අවාසනාවකට ශ්‍රී ලංකාවේ බොහෝමයක් මහතැලසීමියා රෝගීන් අඩු වයස් කාණ්ඩවල දී මියයයි. තැලසීමියා වාහකයන්ට කිසිදු ඖෂධයක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැදගත්ම දෙය නම් ඔබ තැලසීමියා වාහකයෙක්ද නැද්ද යන්න සොයා බැලීම සහ දැනුම්වත් වීමය.

මෙම රෝගය වැලඳෙන එකම ක්‍රමය වන්නේ තැලසීමියා වාහකයන් දෙදෙනෙකු අතර සිදු වන විවාහයයි. සෑම තැලසීමියා රෝගියෙකුගේම මවුපියන් තැලසීමියා වාහකයින් වේ. එම වාහකයන් දෙදෙනෙකු අතර සිදු වන විවාහ නවත්වා ගැනීම තුළින් මෙම රෝගය ඇති වීම වළක්වා ගැනීමට හැකිය. එම නිසා විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් මඟින් ඔබ තැලසීමියා වාහකයෙකු ද? නැතිද? යන බව දැන ගැනීම ඉතා වැදගත්වේ.

මෙම රෝගීන්ට නීරෝගි පුද්ගලයෙකු මෙන් සාමාන්‍ය ආහාර වේලක් ගැනීමට හැකි අතර එහිදී යකඩ අවශෝෂණය අඩු කරන හා අස්ථි වර්ධනයට වැදගත් වන ආහාර ගැනීමට ද වගබලාගත යුතුය. ප්‍රතිකාර සමඟ මොවුන්ට ද එදිනෙදා වැඩපලවල, ගමන් බිමන්වලද නිරත වීම මෙන්ම සුදුසු ක්‍රීඩාවන්වල නිරත වීමට හැකිය.

මහර තැලසීමියා ඒකකය

රජයේ ඕනෑම රෝහලකට ගොස් තැලසීමියා පරීක්ෂණයක් සිදු කරගැනීමට අවශ්‍ය බව පැවසුවහොත් ඔවුන් තැලසීමියා පරීක්ෂණ සිදු කරන ස්ථානයක් වෙත යොමු කරනු ලබයි. තැලසීමියා පරීක්ෂණ සිදු කරනු ලබන ස්ථාන කිහිපයක් තිබේ. රජයෙන් විශාල මුදලක් වැය කර රෝගීන්ට ප්‍රතිකාර කරගෙන යන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. එහිදී තැලසීමියාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුවිශේෂී වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය වර්ෂ 2007 සිට මෙම කටයුතු කරගෙන යනු ලබයි. පාසල් මට්ටමින් සහ ප්‍රදේශ මට්ටමින් මෙම රෝගය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීම අපට දැකගත හැකිය. එමඟින් රෝගය වැලඳීම වළක්වා ගැනීම අපේක්ෂා කෙරේ. රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මෙම රෝගී තත්ත්වය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන අතර එහිදී ඔබ වාහකයෙකු ලෙස හඳුනාගතහොත් ඔබට රෝස පැහැති කාඩ්පතක්ද වාහකයෙකු නොවේ නම් කොළ පැහැති කාඩ්පතක්ද නිකුත් කරනු ලැබේ. ඒ සඳහා ඔබ කළයුත්තේ තැලසීමියා මධ්‍යස්ථානයකට ගොස් සරල රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීමයි.

රාගම වෛද්‍ය පීඨයට අනුබද්ධව රාගම රෝහල මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහර තැලසීමියා ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝග විනිශ්ය පරීක්ෂණ ආරම්භ කරනු ලැබිණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ නව යොවුන් සහ වැඩිහිටි තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වර්ෂ 2006 දී රාගම රෝහලේ වෙනම ඒකකයක් පිහිටුවනු ලැබිණි. මුල් අවධියේ රෝගීන් පහළොවක් පමණ ප්‍රතිකාර ලබා ගැනීම සිදු විය. ප්‍රතිකාර ලබා ගැනීමට විශාල රෝගීන් ප්‍රමාණයක් පැමිණිම හේතුවෙන් එම ඒකකයේ ඉඩ ප්‍රමාණවත් නොවීය. පසුව එම ඒකකය මහර ප්‍රදේශයට ගෙන යන ලදි. මහර තැලසීමියා ඒකකය වාහකයින් සොයා ගැනීමට පර්යේෂණ සිදු කිරීමට අමතරව නව යොවුන් සහ වැඩිහිටි තැලසීමියා රෝගීන්ට විශේෂ ප්‍රතිකාර ලබා දීමද සිදු කරයි. එම කටයුත්ත සිදු කරන ශ්‍රී ලංකාවේ එකම ඒකකය මහර තැලසීමියා ඒකකයයි. මෙම ඒකකයෙන් දැනට රෝගීන් 520ක් පමණ ප්‍රතිකාර ලබා ගනී. මීට අමතරව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ තැලසීමියා රෝගීන් වෙනුවෙන් විවිධ වින්දන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

රුවන්පුෂ්පකුමාර

සන්නිවේදන හා මාධ්‍ය ඒකකය කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT