මෙරට ආබාධ සහිත ප්‍රජාව ලක්ෂ දාහතකට අධික බව ආසන්නම සංගණන වාර්තාවලින් තහවුරුව තිබේ. එය මෙරට ජනගහනයෙන් සියයට අටකට වැඩිය. මෙය රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකි.මෙම ආබාධ සහිත ප්‍රජාව වෙනස් පිරිසක් ලෙස සැලකිය නොහැකි වුවද ඔවුනට සමාජයේ කටයුතු කර ගෙන යද්දී විවිධ අපහසුතාවලට ලක්වෙති. එම අපහසුතා අතර ප්‍රවිෂ්ටවීම පිළිබඳ ගැටලු ඒ අතර ප්‍රධානය. ඒ පිළිබඳව 2009 වර්ෂයේදී නඩු තීන්දුවක් ලැබී තිබුණද එම නඩු තීන්දුව අනුව ආබාධ සහිත ප්‍රජාව වෙත අවශ්‍ය පහසුකම් සලසන ආයතන ප්‍රමාණය අල්පය. පොදු ප්‍රවාහනය තුළ ආබාධ සහිත පිරිස් පිළිබඳ කිසිදු අවධානයක් නැත. දුම්රිය ප්‍රවාහනය තුළද තත්ත්වය එසේමය. ඒ තත්ත්වය තුළ ආබාධ සහිත ප්‍රජාව දැඩි අපහසුතාවට පත්වෙති. වෙනත් විදිහකට සඳහන් කළහොත් මෙවැනි බාධා නිසා ආබාධ සහිත ප්‍රජාවගේ මූලික අයිතිය පවා උල්ලංඝනය වේ. එහෙත් ඒ ගැන කතා කරන්නෝ අල්පය.
ඡන්ද අයිතිය තිබුණද ආබාධ සහිත ප්‍රජාව වෙත ඒ අයිතියද අහිමි වන අවස්ථා බහුලය. එයට හේතුවක් බවට පත්වන්නේ ඡන්ද පොළ ස්ථානවලට ප්‍රවිෂ්ට වීමට ඇති බාධාවයි. සැබවින්ම මෙරට විශේෂ පිරිසක් ලෙස සඳහන් කළ හැකි ආබාධ සහිත පිරිස් වෙත පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දිය යුතු බවට අදහසක්ද තිබේ. එය කෝටාවකින් ස්ථිර ලෙස වෙන් කළ යුතුය යන්න අපගේ අදහසයි. එමඟින් අප වැනි පිරිස් වෙත ලැබෙන අවධානය අදට වඩා වැඩිවනු නියතය.
ඉනෝකා ජයතිලක රාගම