Monday, May 20, 2024
Home » එජාපය කියන නුග වෘක්ෂයෙන් ඕනෑම කෙනකුට සෙවණ ලැබිය හැකියි හිටපු නියෝජ්‍ය ඇමැති සමරවීර වීරවන්නි

එජාපය කියන නුග වෘක්ෂයෙන් ඕනෑම කෙනකුට සෙවණ ලැබිය හැකියි හිටපු නියෝජ්‍ය ඇමැති සමරවීර වීරවන්නි

by sachintha
May 9, 2024 1:31 am 0 comment

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු වේදිකාවක හෝ කිසිදු සභාවක කිසිවකුටත් බැන අපහාස කර නොමැති බවත්, එක්සත් ජාතික පක්ෂය කියන විශාල නුග වෘක්ෂයේ සෙවණ ඕනෑම කෙනකුට ලැබිය හැකි බවත් හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති සමරවීර වීරවන්නි මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (07) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“අද මේ රටේ ජනතාව ඉදිරියේ තිබෙන ප්‍රශ්නය තමයි මේ රටේ අනාගතය ආරක්ෂා කර ගත හැකි නායකයා තෝරාපත් කර ගැනීම. ලෝකයේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකට වඩා වෙනස්ව ජනතාවගේ බලයෙන් විශාල පරිවර්තනයක් සිදුවූ රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකාව හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම එක් දේශපාලන පක්‍ෂයක් සම්පූර්ණයෙන්ම අතුගාදා කිසිදු මන්ත්‍රී ධුරයක් එම පක්ෂයට අහිමි වන ආකාරයට ජනතාව තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා. ඒ ජනතාවම පෙළපාලි ගිහින් වර්ජනය කර ඔවුන් පත්කරගත් පාලකයන් නැවත ප්‍රතික්ෂේප කර ගෙදර යැව්වා. ඒ ආණ්ඩුව තුළ උගතුන්, බුද්ධිමතුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන් විශාල ප්‍රමාණයක් හිටියත් අවසානයේ රට භාරගන්නට සිද්ධ වුණේ ජනතාව විසින් පරාජයට පත් කළ පක්ෂයේ එකම මන්ත්‍රී ධුරය හිමි පුද්ගලයා වීම පුදුමාකාර දෛවයේ සරදමක් විදියට සඳහන් කරන්නට පුළුවන්.

තුනෙන් දෙකක බහුතරයක් තිබු පක්ෂයකට තමන්ගේ පක්ෂයෙන් අගමැති ධුරයට කෙනෙක්ව යෝජනා කරන්නට බැරි තත්ත්වයක් උදා වුණා. ලෝකයේ තවත් අවුරුදු සිය ගණනකටවත් සොයාගන්නට බැරි ඉතිහාස කතාවක් මේ තනි පුද්ගලයා බිහි කර තිබෙනවා. අගමැති වෙන්න ජනාධිපති වෙන්න ඉල්ලුම්පත්‍ර දාපු බොහෝදෙනෙක් හිටියා. අවසානයේ මේ රට ගොඩගන්න තමන්ට ක්‍රමවේදයක් නෑ කියලා දැනගෙන පස්සෙන් පස්සට ගියා. ඒ වගේම තමන්ගේ දේපොළ, ඉඩකඩම් ජනතාව විසින්ම ගිනිබත් කළ තත්ත්වයක් තුළ තමයි ඔහු ජනාධිපති ධුරයේ වැඩ භාර ගන්නේ. රටේ අර්බුදයක් ඇති වෙලා තිබෙන මොහොතේ තෙල් ටික දෙන්න, පාන් කෑල්ලක් දෙන්න කිසිදු නායකයකුට ශක්තියක් තිබුණේ නෑ.”

ලග්ගල ආසනය නියෝජනය කරමින් අනුරුද්ධ බණ්ඩාර මහතා

“උමා ඔය ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වෙනවා දකින්න බැරි සමහර පක්ෂ ඒ සම්බන්ධව අර්ථ විරහිත විවේචන ඉදිරිපත් කර තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ උමා ඔය ව්‍යාපෘතියට අදාළව විවේචනය කරමින් කරන ප්‍රකාශවලට පැහැදිලි උත්තරයක් දී තිබුණා. මේ සිදු වෙලා තියෙන ජල කාන්දුවලට උමා ඔය සම්බන්ධයක් නෑ. ඒ සාමාන්‍යයෙන් සිදු වන නායයෑමක ලක්ෂණයක් කියන දේ ඔහු ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා රටේ ඇත්ත මොකක්ද කියන එක ජනතාව දැන් ටික ටික තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රකාශවලින් තවදුරටත් එම දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඈත්වෙනවා මිස ළං වෙන්නේ නැති බව තේරුම් ගත යුතුයි.”

කඩුවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

නෙත්මි පූජනී රත්නායක සහ මැදකොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT