Monday, May 20, 2024
Home » අමෙරිකාවේ සරසවි සිසුන්ගේ විරෝධතාවේදී කාශ්මීර් බෙදුම්වාදීන්ටත් සහය පළ කරලා

අමෙරිකාවේ සරසවි සිසුන්ගේ විරෝධතාවේදී කාශ්මීර් බෙදුම්වාදීන්ටත් සහය පළ කරලා

by sachintha
May 9, 2024 2:52 am 0 comment

ඊශ්‍රායල විරෝධී විරෝධතාවක නිරත වූ අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පලස්තීන ධජයට අමතරව ඉන්දියාවේ කාශ්මීර බෙදුම්වාදී ධජයක් ද, තවත් රටවල් රැසක බෙදුම්වාදී ධජයන් ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ධජ ප්‍රදර්ශනය කර ඇත්තේ විරෝධතාව අවසන් කිරීමට සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට පැමිණීමට විශ්වවිද්‍යාල පරිපාලකයන් තීරණය කිරීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. විශ්වවිද්‍යාලයේ විරෝධතාව අවසන් නොවූයේ නම් සිසු සිසුවියන් අත්අඩංගුවට පත්වීමේ සහ සිරගත වීමේ අවදානමක් පැවැති බැවින් බලධාරීන් තීරණය ගෙන තිබූ බව ද වාර්තා වේ.

කෙසේ වුවද විරෝධතා අවසන් කිරීමට සිසුසිසුවියන් විසින් පාලනාධිකාරියට ඉල්ලීම් 10ක් ඉදිරිපත් කළ බවත්, ඉන් ඉල්ලීම් 8කට බලධාරින් එකඟතාව පළ කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පලස්තීනය ඇතුළුව රටවල් රැසක බෙදුම්වාදීන්ට සහාය පළ වන අයුරින් ධජ ප්‍රදර්ශනය කිරීමට රට්ගර් විශ්වවිද්‍යාලයේ බලධාරින් එකඟතාව පළ කිරීම අමෙරිකාවේ ඉන්දියානු සංවිධාන රැසකගේ දැඩි විවේචනයට ලක් වී ඇතැයි ද වාර්තා වේ. ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ වේගවත් සංවර්ධනයක් සිදුවෙමින් පවතින අවස්ථාවක කාශ්මීර බෙදුම්වාදීන්ගේ ධජයක් අමෙරිකානු විශ්වවිද්‍යාලයක ප්‍රදර්ශනය කිරීම පිළිබඳ එරට ඉන්දීය සංවිධාන රැසක අප්‍රසාදය පළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අවතැන් වූ පලස්තීන ශිෂ්‍යයන් 10 දෙනකු රට්ගර් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට ද බලධාරීන් එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT