Monday, May 20, 2024
Home » අනාගත පරපුර මත් උවදුරින් ආරක්ෂා කරගැනීමට සියලු දෙනා එක් විය යුතුයි – ඇමැති ටිරාන් අලස්

අනාගත පරපුර මත් උවදුරින් ආරක්ෂා කරගැනීමට සියලු දෙනා එක් විය යුතුයි – ඇමැති ටිරාන් අලස්

by sachintha
May 9, 2024 2:00 am 0 comment

රටේ අනාගත පරපුර මත් උවදුරින්, මත් ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර යහපත් පුරවැසියෙක් කිරීමට සියලු දෙනා එක් විය යුතු බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් එයින් මුදාලමින් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීමට ඊයේ (08) කොටහේන පරමානන්ද විහාරස්ථානයේදී පිහිටුවනු ලැබූ ‘සුවසාර කැදැල්ල’ ප්‍රජාපාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවීමේ වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“අපේ රටේ ජනතාව, අපේ රටේ දූ දරුවන් බේරා ගන්න තමයි මේ මෙහෙයුම පටන් ගත්තේ. ඒ මෙහෙයුම කරගෙන ගියාම තේරුණා, මේ වෙනුවෙන් අපි නව වැඩපිළිවෙළවල් කරන්න ඕනෙ කියලා. ඒ අනුව තමයි මේ වැඩපිළිවෙළ පටන් ගත්තේ. අපේ ස්වාමීන් වහන්සේලා, වෙනත් ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා කර මෙවැනි මධ්‍යස්ථාන 256ක් ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යනවා.

අද තමයි ඒකේ ආරම්භය මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් සිදු කළේ. කුඩු විකුණන අය, කුඩු ගේන අය නැති කරන ගමන් අවාසනාවකට මේවා පාවිච්චි කරන්න පුරුදු වූ අය බේරා ගන්න තමයි මේ පුනරුත්ථාපන කඳවුරු වැනි දේවල් පටන් ගන්නේ. අපේ දූ දරුවන් වෙනුවෙන් වැඩ කොටස් දෙකක් කරනවා.

එකක් ඔබ සියලු දෙනාට මේ නරක දේවල් පුරුදු කරන අය සමාජයෙන් අයින් කරනවා. අනෙක මේ දේවල්වලට පුරුදු වෙලා ඉන්න අයට අපි වැඩපිළිවෙළක් යොදනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අපේ අමාත්‍යාංශය යටතට තියෙන මණ්ඩලයක්. මෙවැනි පුනරුත්ථාපන ස්ථාන ස්ථාපිත කර එම නිලධාරීන් සමඟ ඔබලාට අවශ්‍ය දේශන පවත්වා අපේ ස්වාමීන් වහන්සේලාත් පූජකතුමන්ලාත් එකතු වෙලා ඒවා කරගෙන යනවා.

අපට ඕනෙ මේ රටේ අම්මලාට, තාත්තලාට, දූ දරුවන්ට තියෙන මේ ප්‍රශ්න විසඳන්න. මේ කරනකොට අපට ගොඩක් බාධක එනවා. මේවා කරනවාට අකමැති අය යූටියුබ්කාරයන්, සමහර දේශපාලනඥයන් මේක කඩාකප්පල් කරන්න තියෙන හැම දෙයක්ම කරනවා.

මේ නිසාම මට අස්වෙන්න කියලත් කියනවා. ඒ මොකද, ඒ අය කුඩු ජාවාරමේ ඉන්න උදවිය එක්ක සම්බන්ධයි. අපි ඒආට සැලෙන්නේ නෑ. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. කෙසේ හෝ වැඩිකල් නොගොස් මේ රට මේ කුඩුවලින් පාතාලයෙන් බේරා ගන්න තමයි සැලසුම් කර තියෙන්නේ. මෙවැනි වැඩපිළිවෙළ සමඟ එකතු වෙන්න කියලා මේ රටේ අම්මලා තාත්තලාගෙන් මම ඉල්ලා සිටිනවා.

තමන්ගේ දූ දරුවන් අවාසනාවන්ත විදිහට මේ ජාවාරම්කරුවන්ට සම්බන්ධ වෙලා නම් එයින් බේරාගෙන ඔවුන්ට හොඳ අනාගතයක් දෙන්න කටයුතු කරන්න පුළුවන්. මේ රටේ සියලුම පුරවැසියන් එකතු වෙමු. රටට ආදරය කරන, තමන්ගේ පවුලට ආදරය කරන, තමන්ගේ දූ දරුවන්ට ආදරය කරන පුරවැසියන් සියලු දෙනාම අපි සමඟ එකතු වෙලා ඉන්නවා. මේ වැඩපිළිවෙළට සහයෝගය දී අපි මේ රට කුඩුවලින් පාතාලයෙන් බේරාගෙන අපේ දූ දරුවන් රැක ගනිමු.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT