Monday, May 20, 2024
Home » වේ හුඹස්වලින් වට වූ පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්

වේ හුඹස්වලින් වට වූ පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්

by sachintha
May 9, 2024 1:34 am 0 comment

සතුන් සර්පයන් සිටින හුඹස් කීපයකින් වට වූ කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක් දිඹුලාගල මනම්පිටිය බටහිර මාගන්තොට ගම්මානයෙන් අපට මුණ ගැසිනි.

රජයේ අස්වැසුම සහනාධාරයෙන් පමණක් ජීවත්වන මෙම පවුල දිවිගෙවෙන කුඩා පැල්පත කුඩා කාමර දෙකකින් සමන්විත අතර බිම් මට්ටමේ සිට පොල් අතු වහලටත් ඉහළින් හුඹස් බැඳී තිබේ.

එම හුඹස් කඩා ඉවත් කළද දින කිහිපයකින් යළිත් වේයන් හුඹස සකසන බවත්, කඩා විනාශ කිරීම මහා පාප කර්මයක් බැවින් තමන්ද සතුන් සමඟ ජීවත් වන බව එම කුඩා පැල්පතේ ජීවත් වන පස්දරු මවක වන 50 වියැති රෝගී මවක වන කේ.වී. උදේනි කහදවල මාතාව සඳහන් කළාය.

මෙම නිවසේ ඇයගේ දියණිය සහ ස්වාමියාද තවත් දරුවකු සමඟ ජීවත් වන අතර දියණියගේ ස්වාමියාද රෝගී තත්ත්වයෙන් සිටින බවත්, තමන්ට පවතින විවිධ රෝගවලට ප්‍රතිකාර ගැනීමට කිසිදු ආදායමක් හෝ මුදලක් නොමැති නිසා අස්වැසුමෙන් ලබාගන්නා ආදායමෙන් පමණක් වේලක් ඇර වේලක් ආහාර ගෙන දිවි ගෙවන බවද උදේනි මහත්මිය සඳහන් කළාය.

කාලයක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ බඩඉරිඟු තම්බා ගත් සොච්චම් මුදලෙන් ජීවත් වූ ඇය මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන නිසා කිසිදු ආදායමක් නොමැති බවත්, හැකි නම් තමන්ට ස්ථිර නිවසක් හෝ කාමරයක් ඉදිකරදීමට කිසියම් පින්වතෙක් හෝ ආයතනයක් ඉදිරිපත් වන ලෙසද ඇය කාරුණික ඉල්ලීමක් කළාය.

අවස්ථා කිහිපයකදීම නිවස තුළ හුඹසේ සිටින සතුන් සර්පයන් තමන්ට හානිකර බවත්, කර කියා ගැනීමට නොහැකි නිසා කුඩා පොල් අතුපැළ තුළ ජීවත්වන බවද ඇය සඳහන් කළාය.

ස්වාමියා අතහැර ගොස් සිටින ඇයට පිරිමි දරුවකු සහ ගැහැනු දරුවන් සිව්දෙනෙකු සිටින අතර, දියණියක් මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබන්නේ විවිධ අඩුපාඩුකම් මතය.

විවාහ වී පිට ප්‍රදේශවල ජීවත් වන දරුවන්ට මවට සැලකීමට තරම් ආර්ථික ශක්තියක් නොමැත.

ඔවුන්ගේ ලිපිනය කේ.වී. උදේනි කහඳවල, අංක 127, බටහිර මාගන්තොට, මනම්පිටිය දිඹුලාගල. දුරකතන අංකය 0775702189 බැංකු ගිණුම මහජන බැංකුව මනම්පිටිය.

ගිණුම් අංකය. 2532001150089872

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT