Home » ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියට සූදානම්

ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියට සූදානම්

by mahesh
May 10, 2024 1:00 am 0 comment
ඩී. සැම්සන් සහ පුත්‍ර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු. (වමේ සිට) - ඉන්දු සමරකෝන් (සභාපති - ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය), අතුල විජේනායක (අධ්‍යක්ෂ - ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන), අසංක රාජපක්ෂ (අධ්‍යක්ෂ ඩීඑස්අයි), ප්‍රදීප් සමරතුංග (සාමාන්‍යාධිකාරි - ඩීඑස්අයි) මහත්ම මහත්මිහු ද මෙහි වෙති. ඡායාරූපය - විමල් කරුණාතිලක

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වොලිබෝල් අනුකමිටුව සමඟ එක්ව ඩීඑස්අයි ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධාන කරන ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලියට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ නිතර දරුවන් දිරිගන්වමින් ජාතික තලය ඔසවා තැබීමේ අරමුණින් වසර 1999දී ඩීඑස්අයි ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය ආරම්භ කළ අතර, ඩීඑස්අයි පාසල් වොලිබෝල් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 22 වැනි වරටය. ‍ මෙවර තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් 4000ක් පමණ එක්වනු ඇතැයි සංවිධායකයන්ගේ අපේක්ෂාව වී තිබේ.

අවුරුදු 11, 13, 15, 17 සහ 19න් පහළ ලෙස වයස් කාණ්ඩ 5ක් යටතේ බාලක හා බාලිකා ලෙස තරග පැවැත්වෙන අතර, දිස්ත්‍රික් මට්ටමේ තරග ලබන මස 15, 16, 22, 23, 29, 30 සහ ජූලි 6, 7, 13, 14, 20, 21 දිනවල පැවැත්වේ. දිස්ත්‍රික් තරගාවලිවල ශූරයන් සහ අනුශූරයන් ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. එම තරග අගෝස්තු 7 සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර, තරගාවලියේ අවසන් මහා තරග නොවැම්බර් 2 සහ 3 දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය සඳහා ඇතුළත් වීමේ අයදුම්පත් දිවයින පුරා පිහිටි සියලු ඩීඑස්අයි ප්‍රදර්ශනාගාර වෙතින් ලබාගත හැකිය. වැඩි විස්තර 011-2669344 අංකයෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ දිස්ත්‍රික් 25 සම්බන්ධීකරණ නිලධාරීන්ගෙන්, පාසල් වොලිබෝල් අනුකමිටු ලේඛකාධිකාරී සී.එල්. කුමාර මහතාගෙන් (0773329702), [email protected] ඊමේල් ලිපිනයෙන් හෝ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක මහතා වෙතින් ලබාගත හැකිය.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් ළඟම පිහිටි ඩීඑස්අයි ප්‍රදර්ශනාගාරය භාර දිය හැකි අතර, අලෙවි අංශය, අංක 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම ලිපිනයට තැපැල් මඟින් යොමු කළ හැකිය. අයදුම්පත් භාර ගැනීම මේ මස 31 වැනිදායින් අවසන් කෙරේ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT