පාස්කු බැතිමතුන් රැගත් බස් රථයක් කඳු සහිත මාර්ගයකදී ප්‍රපාතයකට ඇද වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 45 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු අප්‍රිකාවේ ලිම්පොපෝ පළාතේදී එම අනතුර සිදු වී ඇති අතර, බස් රථයේ සිටි පුද්ගලයන්ගෙන් දිවි බේරා ගෙන ඇත්තේ අට හැවිරිදි දැරියක පමණක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම දැරිය බරපතළ තුවාල සහිතව ගුවන් මඟින් රෝහල කරා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ. එම අනතුර සිදු වී ඇත්තේ බැතිමතුන් දකුණු අප්‍රිකාවේ අසල්වැසි රටක් වන බොට්ස්වානාහි ගැබොරොන් අගනුවර සිට මොරියා නමැති ප්‍රදේශයක පිහිටි කතෝලික දේවස්ථානයක පාස්කු මෙහෙයකට සහභාගි වීමට යමින් සිටියදිය.
ප්‍රපාතයට ඇද වැටුණු බස් රථය පසුව ගිනි ගෙන විනාශ වී ඇති අතර, අනතුරට හේතුව සොයා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
කඳුකර මාර්ගයේ පාලමක් මතදී රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව බස් රථය මීටර් 50ක පහළට ඇද වැටී ඇතැයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බොහෝ මළ සිරුරු හඳුනාගත නොහැකි අයුරින් පිළිස්සී ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයෙන් ගොඩ ගැනීමට හැකි වී ඇත්තේ මළ සිරුරු 12ක් පමණක් බවද වැඩිදුරටත් වාර්තා වේ.