Home » පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළේ කේසර සිංහයකු වගේ – යටදොළවත්තේ චන්ද්‍රසිරි හිමි

පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළේ කේසර සිංහයකු වගේ – යටදොළවත්තේ චන්ද්‍රසිරි හිමි

by sachintha
April 22, 2024 1:48 am 0 comment

විදුලිසැර වැදීමකින් සිදු වූ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දහස් ගණනක් වූ ඒ මහතාට ආදරය කරන ජනතාවකගේ සෝ සුසුම් මැද පසුගිය 19 වැනිදා සිදු කෙරිණි. ඒ යටදොල, කරම්පෑතර පොල්වත්ත, කරම්පෑතර ඒ මහතාට අයත් පොල්වත්තේ ඔහු ජීවත්ව සිටියදී ඔහු විසින්ම ඉදිකළ නිසල අරණ සොහොන් කොත තුළය.

අවමංගල උත්සවයේ කටයුතු යටදොළවත්ත විහාරාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති ශාස්ත්‍රපති කල්‍යාණි මහා සංඝ සභාවේ කකුලන්දල පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක යටදොලවත්තේ චන්ද්‍රසිරි හිමියන් විසින් මෙහෙයවන ලද අතර, පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිය ෂෙරින් තෙවරප්පෙරුම මහත්මිය, පුත් නුෂාන් තෙවරප්පෙරුම, තෙවරප්පෙරුම මහතාගේ මෑණියන් වන සෝමාවතී අබේසේකර ඇතුළු සහෝදර සහෝදරියන්, ඥාතීන් සහ විශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඥාති පුත් අරුණ තෙවරප්පෙරුම මහතා විසින් පිළිගැනීම් කතාව සිදු කළ අතර, භික්ෂූන් වහන්සේලා පිළිගැනීම යටදොලවත්තේ චන්ද්‍රසිරි හිමියන් විසින් සිදු කරනු ලැබීය. පිරිස පංචශීලයේ පිහිටුවීම මතුගම මංගල නායක හිමියන් විසින් සිදු කරනු ලැබීය.

මතක වස්ත්‍ර පූජාව සහ ප්‍රධාන අනුශාසනය බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද හිමියන් විසින් සිදු කරන ලද අතර, පාලින්දනුවර ප්‍රධාන සංඝනායක දෙවමුල්ලේ කල්‍යාණවංශ හිමි, අමරපුර සංඝ සභාව වෙනුවෙන් රන්දොඹේ සුමනාලෝක හිමි, රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් තෙඹුවන පියනන්ද හිමි පැවිදි අනුශාසනා සිදු කළහ.

මෙහිදී යටදොළවත්තේ චන්ද්‍රසිරි හිමියෝ මෙලෙස අනුශාසනාවක් සිදු කළහ.

“පාලිත තෙවරප්පෙරුම කියන චරිතය කිසිවකුට සමාන කළ නොහැකි සුවිශේෂී චරිතයක්. ඔහු ජනතාවට සේවය කළේ කේසර සිංහයෙක් වගේ. ඔහු තුළ මෝඩ චණ්ඩියෙක් ජීවත්වුණේ නෑ. ඔහු ජනතාවගේ ප්‍රශ්නවලදී තමන්ගේ ජීවිතය පරදුවට තබා කටයුතු කළා. පාලිත මහතාගේ හදවතේ සිංහල ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවටත් ද්‍රවිඩ ජනතාවටත් ඉඩ තිබුණා. අමුතු පන්තියක් නිර්මාණය වුණේ නෑ. එතුමා පුදුම ජනහිතකාමියෙක්.

ඔහු යම් ප්‍රශ්නයක් විසඳීමට යන්නේ යාළුවන් හිතවතුන් පිරිවරාගෙන නෙමෙයි. ඔහු ප්‍රශ්නවලට මුහුණදුන්නේ තනිවමයි. ජනතාව දැනගෙන හිටියා පාලිත මහත්තයා යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බව. ඒ නිසා ජනතාවත් ඔහු සමඟ නිරන්තරයෙන් සිටියා. ඔහු ජනතාවාදී සැබෑ දේශපාලකයෙක් බව ඔහුගේ අභාවයෙන් පසුව මේ නිවෙසට වැල නොකැඩී එන මහා ජන ගංගාව දැක්කාම පිළිගන්න පුළුවන්.”

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා

“පාලිත තෙවරප්පෙරුම අසාමාන්‍ය චරිතයක්. පාලිත තෙවරප්පෙරුම අනෙක් අය සමඟ සංසන්දනය කරන්න බෑ. ඔහු ඔහුට හිතුණ දේ කරන ඔහුට අවශ්‍ය දේ හරි වුණත් වැරදුණත් කරන අසාමාන්‍ය චරිතයක්. පාලිත රටේ ජනතාවටත් ප්‍රදේශයේ ජනතාවටත් සත්ත්ව ලෝකයටත් ආදරය කළ චරිතයක්.

ඔහුට ගංවතුරවත් නියඟයවත් එහෙම නැත්නම් වසංගත තත්ත්වයක්වත් අභියෝගයක් වුණේ නෑ. ඒවාට තෙවරප්පෙරුම අභියෝගයක් වුණා හැරෙන්නට ඔහුට ඒවා අභියෝගයක් වුණේ නෑ. ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් පෙනී සිටය නොබියව ක්‍රියාත්මක වූ ජනතා හිතවාදියෙක් කියන එක අප සැබැවින්ම කිව යුතුයි.

ඔහු තමන්ගේ පවුල දිහා බැලුවෙ නෑ. ඔහු බැලුවේ රටත් ජනතාවත් සිවිල් සමාජයත් දිහා. ඔහුට දේශසීමා තිබුණේ නෑ. ඔහු කළුතර දිස්ත්‍රික්කයට, මතුගමට සීමා වුණේ නෑ. රටේ කොතැනක වුණත් ඔහු හිටියා. ඔහු කෙනකුට පිහිටක් විය යුතු තැන නීතියක් හෝ වෙනත් දෙයක් බැලුවේ නෑ. ඔහුට නඩු ගණනාවක් තිබුණා. ඔහුගේ ලැගුම්හල අධිකරණය වුණා. ඔහුගේ ලැගුම්හල බන්ධනාගාරය වුණා. පොලිස් කූඩුව වුණා. ඔහු ඒ හැම දෙයකටම මුහුණදුන්නේ හරිහම්බ කරන්නවත් මංකොල්ලකන්නවත් නෙමෙයි.

එවැනි කැපකිරීම් කළ අසාමාන්‍ය ජනතා නායකයෙක් පාලිත. පාලිත ජනතාව දිහා බැලුවට ජනතාව පාලිත දිහා බැලුව ද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. 2019දී මිනිස්සු පාලිත වෙනුවෙන් පෙනී හිටියේ නෑ කියන එකයි මගේ මතය.”

ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි.

“පාලිත තෙවරප්පෙරුම මහතා සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර වූ පුද්ගලයෙක්. ඔහු අනුගමනය කළේ වෙනස්ම ආකාරයේ පිළිවෙත්. සමහර සමාජ සම්මතයන් සමඟ ඒවා නොදැනුණු අවස්ථා බොහෝයි. ඒ හිතුවක්කාර, දඩබ්බර පිළිවෙතක්. නමුත් ජනතාව මේ දඩබ්බර, හිතුවක්කාර පිළිවෙත හිතෛශීව පිළිගත්තා. එතුමන්ගේ අභාවය සිදු වූ අවස්ථාවේ පටන් මේ දක්වා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා ඇති බොහෝ දෙනා මේ සුවිශේෂී දේශපාලන චරිතය අගයකර ඇති බව මම දුටුවා.

තෙවරප්පෙරුම මහතාගේ දේශපාලන අදහස් පිළිගන්නා අය මෙන්ම නොපිළිගන්නා අයත් මේ දඩබ්බර, හිතුවක්කාර පිළිවෙත් අගය කර තිබීම තවත් සුවිශේෂී සිද්ධියක්. ඒ මහතාගේ ප්‍රිය බිරිය, පුතා සහ ඥාතිමිත්‍රාදීන් වෙත මගේත්, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් අතිශය සංවේගය පළ කරනවා.”

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කරන ලද්දේ ගයන්ත කරුණාතිලක මහතා විසිනි.

“පොදු ජනතාවට සිය යුතුකම් ඉටු කිරීම යනු කෘතවේදීත්වය පළකිරීමේ සැබෑ මඟයි. අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ පොදුජන මෙහෙවර තුළ අප දකින්නේ යුතුකම් ඉටු කිරීමටත්, තමාට මහජනතා සේවයට වරම් දුන් ජනතාවට කෘතවේදීත්වය ඉටු කිරීමටත් දැක්වූ කැපවීමයි. පාලිත තෙවරප්පෙරුම මහතා සිය බලය සහ නිලය සැම විටම භාවිත කළේ සිය පෞද්ගලික සුඛ විහරණයට නොවේ.

විටෙක ආවේගශීලීව ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඒ මහතා එයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය පමණක් අපේක්ෂා කළා. කිව යුතු දේ නොබියව හෘද සාක්ෂියට එකඟව ප්‍රකාශ කරන ඒ මහතා දේශපාලනයේ බිම් මට්ටමේ සිට ඇමැතිවරයකු දක්වා පැමිණි ගමන් මඟ රෝස මල් ඇතිරූ මාවතක් නොවේ. ඒ මඟ අභියෝග හඳුනා ගනිමින් අභියෝගවලට අභියෝග කරමින් තෙවරප්පෙරුම මහතා කළුගංතොට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී පරිච්ජේදයක් සටහන් කළ බව කිව යුතුමයි.

අපේ ආණ්ඩු පාලනය තුළ මා හමු වූ සෑම අවස්ථාවකදීම ඉල්ලා සිටියේ අසරණ, අහිංසක ජනතාව සඳහා හිසට සෙවණක් සලසා දෙන ලෙසයි. ප්‍රදේශයේ ආගමික ස්ථානවල වැඩිදියුණුවට උපකාර කරන ලෙසයි. කළුතර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සහ ජනතා අභිලාස පිළිබඳව ඒ මහතා සතු වූ දැනුම සහ ක්‍රියාකාරීත්වය මා හඳුනා ගත්තේ ඒ තුළින්.

ඒ මහතාගේ වියෝවෙන් ශෝකයට පත් ඒ මහතාගේ ආදරණීය බිරිය, මෑණියන්, පුතණුවන් ඇතුළු ඥාතීන් සමඟත් කළුතර, මතුගම ඇතුළු ඒ මහතාගේ හිතවත් සියලුම ජනතාවටත් මගේත් සමගි ජනබලවේගයේත් සාතිශය සංවේගය පළ කරනවා. අප අතරින් වියෝ වූ පාලිත තෙවරප්පෙරුම මහතාට උතුම් නිර්වාණ සුවය ලැබේවා.”

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

“පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය එක්සත් ජාතික පක්ෂයට දැරිය නොහැකි බරපතළ පාඩුවක්. එවන් දේශපාලන නායකයන් හදන්න බෑ. උප්පත්තියෙන් එහෙම තමයි. පාලිත තෙවරප්පෙරුම කියන්නේ උපතින්ම නායකයෙක්. ඔහු ඒකට තමයි නායකත්වය දුන්නේ. ඒ මහතාගේ දැනඋගත්කම ගැන නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධය දිනුවේ චර්චිල්. චර්චිල් අගමැතිවරයා ගණන් අසමත්. හැබැයි ඔහු දෙවන ලෝක යුද්ධය දිනුවා. එහෙම තමයි දේශපාලන නායකත්වය දෙන පුරවැසියන් සමාජයේ බිහිවෙන්නේ. ඒ මහතා නැති පාඩුව කළුතර දිස්ත්‍රික්කයටත්, එක්සත් ජාතික පක්ෂයටත් කවදාවත් දරාගන්න බෑ

පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වූ බව දැනගත් වහාම අපේ පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මට කිව්වා අවමඟුල් උත්සවයේ ඕනෑම කටයුත්තක් පක්ෂය භාරගෙන කරන්න කියලා. භාරගන්න මම කතා කළාම මට කිව්වා මල්ශාලාවේ බිල යාළුවෙක් ගෙව්වා කියලා. පසුව මම කිව්වා අවශ්‍ය දෙයක් තිබේ නම් අපට කියන්න කියලා.

අපට දේශපාලන භූමිකාවෙන් නැවත පාලිත කෙනෙක් ලැබෙන්නේ නෑ. උපත ලැබූ අපි සියලු දෙනාටම මේ දෙයට මුහුණදීමට සිදු වෙනවා. මට මතකයි මම 2010 මැතිවරණයෙන් පරාජයට පත් වුණාම මම කළුතර සිරගෙදරට ගියා පාලිතව බලන්න. එදා පාලිත මට කිව්වා, මගේ ඉල්ලා අස්වීම අත්සන් කරලා දෙන්නම් මා වෙනුවට සර් පාර්ලිමේන්තුවට යන්න කියලා. මම කිව්වා, ඔයා ජාතික ලැයිස්තුවේ නෙමෙයි ඉන්නේ, ඔයා අස්වුණාට මට පාර්ලිමේන්තු යන්න බෑ කියලා. පාලිත එහෙම කෙනෙක් .

පාලිත වෙනුවෙන් මේ පවුලට යම් දෙයක් ඉටුවීමට තිබෙනවා නම් ඒ සියලු කටයුතු අපි භාරගෙන ඉටු කරන බවට ප්‍රකාශ කරනවා. පාලිත නැති අඩුව කිසිදා පිරවිය නොහැකි බව නැවතත් ප්‍රකාශ කරමින් පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.”

ජාතික ජනබලවේගය වෙනුවෙන් නලින්ද ජයතිස්ස මහතා

“දේශපාලනය කරන කෙනෙක් හැටියට අවමංගල අවස්ථාවලට කොතෙකුත් සහභාගී වී ගුණකථන කර තිබුණත් වෙනත් පක්ෂයක මන්ත්‍රී කෙනෙක්ගේ, වෙනත් පක්ෂයක දේශපාලනඥයෙක්ගේ අවමංගල්‍යයකදී ගුණකථනයක් මා සිදු කරන පළමු අවස්ථාවයි මේ. අපි ජාතික ජනබලවේගය හැටියට තීරණය කළා, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු වෙනුවෙන් මේ ගුණකථනය සිදුකරන්න.

මේ රටේ දේශපාලකයන් විවිධාකාරයෙන් වර්ග කරන්න පුළුවන්. සමහරු මහජන සේවාව ඉදිරියට කරගෙන යන්න දේශපාලනයට එනවා. ඒ අය බොහොම සීමිතයි. මහජන සේවය කරනවාට අමතරව මාධ්‍යයක් ලෙස දේශපාලනය කරන අයත් ඉන්නවා. තව කොටසක් ඉන්නවා, දේශපාලන පැවැත්ම වෙනුවෙන් මහජන සේවයේ යෙදෙන. ඒගොල්ලෝ ගොඩයි, ප්‍රමාණයෙන් විශාලයි. මම පාලිතව දකින්නේ පළවැනි වර්ගයේ කෙනෙක් හැටියටයි. ඔහුගේ ජීවිතයේ තිබුණේ මහජන සේවය. ජනතාවට සේවය කිරීම සඳහායි ඔහු දේශපාලනය තෝරා ගත්තේ. ඔහුට මන්ත්‍රීකම්, ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් වැදගත් වුණේ ඒ මහජන සේවාව ඉදිරියට ගෙන යන්න විතරයි.

මම හිතනවා දේශපාලනය කළ අවුරුදු 20 තුළ ඔහු තමන්ට කරන්න පුළුවන් දේ කළා. පාලිත දැනගෙන හිටියා තමන්ට දේශපාලනයෙන් කරන්න පුළුවන් දේ මොනවා ද කියලා. ඒ නිසා තමයි ඔහු පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයට නොගිහින් තමන්ට පුළුවන් විදිහට මේ මහජනතාවට උපරිම සේවය කරන්න කටයුතු කළේ. මට පාලිත හමු වූ අවස්ථාවල ඔහුගේ පක්ෂයේ අය ඔහුට නොදැක්වූ ලෙන්ගතුකමක් පාලිත මට දැක්වූ බව නිර්භයව කියන්න පුළුවන්. එහෙම චරිතයක් තමයි අද අපෙන් සමුගෙන යන්නේ.

අද අපෙන් සමුගෙන යන පාලිත කෙනෙක් යළිත් හදන්න බෑ. පාලිත පාලිතමයි. ඒ අඩුව පුරවනවා කියලා එකක් නෑ. ඒ ඔහුගේ ජීවිතය, 1994/ 1995 කාලේ අපි දන්නා පාලිතම තමයි දේශපාලනයෙන් ඉස්සරහට ඇවිත් ඒ ජනතාව වෙනුවෙන් කටයුතු කළේ. ඒ නිසා අපි කවුරු කවුරුත් එකතු වෙලා ඔහු මෙතෙක් කළ ඒ ජනතා සේවය ඉටු කරන්න කටයුතු කරනවා මිසක් තනි කෙනෙක් හදන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. මිනිස්සු අතින් අඩුපාඩු සිද්ධ වෙනවා. ඇත්ත මිනිස්සු කළුයි. ඇත්ත මිනිස්සු සුදුයි. ඇත්ත මිනිස්සු හොඳයි. ඇත්ත මිනිස්සු නරකයි.ඒ ගතිගුණ මිශ්‍රණයක් තමයි පාලිත කියන්නේ. ඒ නිසා අපේ හදවතේ ඉහළම තැනින් ඔහුට ගෞරව දක්වනවා.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා

“පාලිත මගේ මිත්‍රයා රී ප්ලේස් කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. ඔහු ජනතාව සමඟ සෑමවිටම සිටිය දේශපාලනඥයෙක්. ඒ නිසයි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහුට ආදරය කරන්නේ. පාලිත ජීවත්වෙලා ඉන්න දේශපාලනඥයන්ට පාඩමක් කියලා දුන්නා ජනතාවට දේශපාලනය කරන හැටිගැන. දේශපාලනඥයන් මිය ගියාම රතිඤ්ඤා පත්තු කරන,කිරිබත් කන රටක දේශපාලනඥයෙක් මැරුණාම හදවතින්ම හඬා වැලපෙන්න තරම් ජනතා ආදරයක් ලැබීම පාලිතගේ ජනතා සේවයට හොඳම උදාහරණයක්.”

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ශෝක පණිවිඩය මතුගම ප්‍රාදේශීය ලේකම් මධුෂ සංකල්ප මහතා විසින් ඉදිරිපත් කරන ලදි..

මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉෆ්තිකාර් ජමීල් මහතා සහ නීතිඥ ගාමිණී නල්ලපෙරුම මහතා ශෝකය පළ කළහ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය නිසල අරණ වෙත ගමන් කිරීමට පැය දෙකකට ආසන්න කාලයක් ගත විය.

හිරු අවරට ගොස් රාත්‍රිය එළැඹෙමින් තිබියදී දහස් ගණන් ජනතාවගේ සෝ සුසුම් මැද නිසල අරණ වෙත ළඟා වූ පාලිත තෙවෙරප්පෙරුම මහතාගේ දේහය පාලනය කර ගත නොහැකි තරම් වූ ජනතාවක් අතරින් ඥාතීන්, හිතවතුන්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ දෑතින් නිසල අරණේ නිසලව තැන්පත් කෙරිණි.

මතුගම සමූහ – බී. ටී. තඹවිට සහ මීගහතැන්න සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT