Home » ශාසනය පිරිහෙන්නේ ශාසනය ඇතුළෙන්ම ද?

ශාසනය පිරිහෙන්නේ ශාසනය ඇතුළෙන්ම ද?

by sachintha
April 23, 2024 3:00 am 0 comment

ඉතිහාසයේ කිසි දිනක නොවූ තරම් බුදු දහම පිළිබඳව අර්බුද රාශියක් වර්තමානයේ නිර්මාණය වී තිබේ. එම අර්බුද හමුවේ ශාසනයට සම්බන්ධ සෑම අංශයක්ම ඉතාම වේගයෙන් කඩා වැටෙමින් තිබේ. බුදු සසුනට සම්බන්ධ ප්‍රධානම කණ්ඩායම් හතරක් සිටියි. ඒ භික්ෂු – භික්ෂුණී, උපාසක – උපාසිකාවන් ය. මේ අයගෙන් භික්‍ෂුණී ශාසනය මීට වසර දහසකට පමණ පෙර ලෝකයෙන් අතුරුදන් වී තිබෙන නිසා අද භික්ෂුණී ශාසනයක් ලොව නැත. අද ඒ වෙනුවට ඇත්තේ මෙහෙණි සස්න පමණි.

ඉතිරිව පවතින භික්ෂු ශාසනයේ අර්බුද ගැනත් ත්‍රිපිටක බුද්ධ වචනයට එල්ල වී තිබෙන අභියෝග ගැනත් ශාසනික පිරිහීමට බලපා ඇති වෙනත් කරුණු ගැනත් මාතෘකා කිහිපයකින් පමණක් මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

“ශාසනය පිරිහෙන්නේ ශාසනය ඇතුළෙන්ම ද?” යැයි කවුරුන් හෝ ඇසුවහොත් “ඔව් ශාසනය පිරිහීමට පත්කළ හැක්කේ ශාසනය ඇතුළෙන්ම පමණක්” බව කිව යුතුය. ඒ බව බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ දී දේශනා කළ සේක. මේ ශාසනය පිරිහීමට පත් කිරීමට, සසුනෙන් පිටත අයට කළ නොහැකි ය. එය කළ හැකි එකම පිරිස වන්නේ ශාසනය තුළ ඉන්නා අය පමණි.

වර්තමාන ශාසනයේ පිරිහීමට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පහත ආකාරයට පෙළගැස්විය හැකියි.

1. ත්‍රිපිටකය, අටුවා, ටීකා, අනුටීකා ඇතුළත් බුද්ධ වචනය ඉගැන්වීමට නිසි ක්‍රමවේදයක් නැතිවීම.

2. දේශපාලන ක්‍රියාකාරිකයින් සසුන තුළ ස්ථානගත කර තිබීම.

3. අන්‍යාගමිකයින් සසුන තුළ ස්ථානගත කර තිබීම.

4. බොරුවක් යැයි දැන දැනම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ පහළ වූවා යැයි සමාජගත කිරීම.

5. විසුද්ධි මාර්ගය සහ බුද්ධ වචනය විස්තර කරන ප්‍රධාන ග්‍රන්ථ විවේචනය කිරීම.

6. අවිශ්වාසය, සැකය, අසමඟිය හා තනතුරු උදෙසා පවතින බලලෝභය.

7. නව විහාරස්ථාන ඉදිකිරීමට නොහැකිවීම.

8. ගිහි පැවිදි දෙපක්ෂයම මේ උතුම් ධර්ම විනය සහ නිවන ගැන නොදැනීම.

9. වෙහෙර විහාර, පන්සල් ඉදිකිරීම සහ දන්දීම ආදිය නිරර්ථක ක්‍රියා ලෙස සමාජගත කිරීම.

10. ඇතුළතින් පිරිහෙන්නේ පිටත සිට එය පිරිහීමට පත් කරන නිසා ය.

යම්කිසි පිරිසක් විනාශ කරන්නට පිටත සිටින තවත් පිරිසකට අවශ්‍ය නම් එය පිටත සිට සිදු කිරීම ඉතා අමාරු කටයුත්තකි. එය කිරීමට ලෙහෙසිම ක්‍රමය එම පිරිස ඇතුළතට තමන්ගේ අය එවා සියල්ලම අසමගි කොට විනාශ කර දැමීමයි. අද කරමින් සිටින්නේ එයයි. තවත් කුමන්ත්‍රණ ද විශාල වශයෙන් තිබේ. මුලින් කී පිරිස සමගියෙන් සිටී නම් විනාශ කර දැමීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. වර්තමාන භික්ෂු ශාසනයේ සමගිය ඉතා දුර්වලය. අධ්‍යාපන ක්‍රමවේදය භික්ෂුවකට කිසිසේත්ම නොගැළපේ. ශාසනයට අයත් වන්නේ භික්ෂුව පමණක් නොවේ.

සිවුවනක් පිරිසම එයට ඇතුළත් වේ. මේ වනවිට දේශපාලනය, මිල මුදල්, තනතුරු, දේපළ ආදිය නිසා මේ සිවුවනක් පිරිස ඉතා දැඩි සේ විරසක වී සිටී. ඇතිකර තිබෙන සහ ඇති වී තිබෙන ගැටලු ලිහා දැමීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.

l ත්‍රිපිටකය, අටුවා, ටීකා, අනුටීකා ඇතුළත් බුද්ධ වචනය ඉගැන්වීමට නිසි ක්‍රමවේදයක් නැති වීම.

බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වී දේශනා කරන ධර්ම විනය වෙනත් කිසිම කෙනෙක්ට අවබෝධ කරගෙන ලොවට දේශනා කිරීමට නොහැකි ය. එය කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයටම ලොවට කීම පමණි. වර්තමානයේ දී ඒ උතුම් බුද්ධ වචනය දැනගැනීමට තිබෙන්නේ එකම එක ක්‍රමයක් පමණි. ඒ මහරහතන් වහන්සේලා විසින් ඉතා සුරක්ෂිතව පවත්වාගෙන ආ ත්‍රිපිටකය, අටුවා, ටීකා, අනුටීකා, විසුද්ධි මාර්ගය වැනි මහනීය ධර්ම ග්‍රන්ථ ඔස්සේ දැන ඉගෙන ගැනීමෙන්ම ය.

නමුත් එම ත්‍රිපිටක බුද්ධ වචනය ඉගෙන ගන්නට නිසි ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නැත. පිරිවෙන් අධ්‍යාපනය තුළින් ත්‍රිපිටකධාරී භික්ෂුවක් නිර්මාණය නොවන අතර භික්ෂු විශ්වවිද්‍යාලය ඇතුළු සියලු විශ්වවිද්‍යාලවලින් බිහිවන්නේ විද්‍යාර්ථීන් පමණි. ත්‍රිපිටකධාරීන් බිහිවන්නේ නැත. අතීතයේ දී භික්ෂූන් වහන්සේලා පමණක් නොව, විශාඛ සිටුතුමා වැනි ගිහි උපාසකයින් ද ත්‍රිපිටකධාරී විය. පිරිවෙන් අධ්‍යාපන සහ විශ්වවිද්‍යාලවලින් ත්‍රිපිටකධාරීන් බිහිනොවුණත්, ගුරුකුලවලින් ත්‍රිපිටකධාරීන් බිහි කරන වැඩපිළිවෙළවල් තිබේ. ගිහි පින්වතුනට නම් එවැනි වැඩපිළිවෙළක් කිසිම තැනක නැත.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක බුද්ධ වචනය නොදන්නා ගිහි පැවිදි පිරිසකගෙන් ධර්ම විනය පිළිපැදීමක් බලාපොරොත්තු වන්නේ කෙසේද? එවැනි වාතාවරණයක දී ශාසනික අර්බුද ඇතිවීම ගැන අමුතුවෙන් කීමට දෙයක් නැත.

චෛත්‍යයක් දකින විට, පන්සලක් දකින විට ඇතැම් දේශපාලන පක්ෂවලට ඒවා පෙනෙන්නේ සමහර දේශපාලන පක්ෂවල ඡන්ද ලකුණු හැටියට පමණි. එයට හේතුව ඇතැම් භික්ෂූන් දේශපාලනය කිරීමයි. එම නිසා අනෙක් දේශපාලන පක්ෂ විසින් බෞද්ධ වෙහෙර විහාරවලට සහ සංඝරත්නයටත්, සමස්ත බෞද්ධයන්ටත් වෛර කරනු ලැබේ. ඔවුන් තමන්ගේ ඉත්තන් ශාසනය තුළ පැවිදි කරවා තම තමන්ගේ දේශපාලන ව්‍යාපාර සරුවට කරගෙන යන්නට තිබූ බාධාවන් නැති කරමින් තිබේ.

l අන්‍යාගමිකයින් සසුන තුළ ස්ථානගත කර තිබීම.

බොහෝ අන්‍යාගමිකයින් සාමකාමීව සහජීවනයෙන් සිටීමට කැමැති වුවත්, ඔවුන්ගේ සමහර ආගමික නායකත්වයන් විසින් එයට කැමැති නැත. ඔවුන් සමහර දුශ්ශීල භික්ෂූන් හිතවත් කරගෙන, සැදැහැවතුන්ට ශාසනය එපා වන ආකාරයට ඔවුන්ව මෙහෙයවනු ලැබේ. ඒවා සඳහා විසි කරන මුදල් කන්දරාව සීමාවක් නැත.

l බොරුවක් යැයි දැන දැනම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ පහළ වූවා යැයි සමාජගත කිරීම.

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ඉන්දියාවේ එනම් දඹදිව බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවේ. ශ්‍රී ලංකාවේ මෙන්ම ථේරවාදී මහායාන සියලු රටවල්වලට අදාළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ඓතිහාසික ග්‍රන්ථ, වංශකතා ආදී මූලාශ්‍ර, රාජ්‍ය පරම්පරාවල තොරතුරු, අන්‍යාගමික මූලාශ්‍ර ආදී ඕනෑතරම් ඉතිහාසය දැනගත හැකි ක්‍රමවලින් ඒ බව තහවුරු වී අවසන්ය. නමුත් බුදුරජාණන් වහන්සේ ගැන මෙවන් භයානක අමූලික බොරුවක් සමාජගත කරන්නේ ගිහි පැවිදි දෙපක්ෂය තුළම තමන් පිළිගන්නා දහම ගැන අවිශ්වාසය ඇතිකර සැකය ඉපදවීම සඳහාය. සැකය එසේ ඇතිකළහොත් සද්ධර්ම ප්‍රතිරූපක බොහොමයක් පහළ වේ. වයසට ගොස් පැවිදි වී වසරක් යන්නටත් පෙර මෙම බොරුව සමාජගත කරන්නට එහි නිර්මාතෘවරුන් කටයුතු කර තිබේ.

l විසුද්ධි මාර්ගය සහ බුද්ධ වචනය විස්තර කරන ප්‍රධාන ග්‍රන්ථ විවේචනය කිරීම.

බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට ධර්මාවබෝධය පිණිස ධර්ම දේශනා කරන ක්‍රමයක් තිබේ. සියලු ශ්‍රාවක දරුවන් විසින් පොදුවේ අනුගමනය කරන සප්ත විශුද්ධි ක්‍රමයක් තිබේ. එහි ත්‍රිපිටකයටම අයත් ධර්ම කරුණු ගෙන මඟපෙන්වීම ඉතා නිවැරදිව කර තිබේ. විශුද්ධි මාර්ගය සහ තවත් එවැනි වටිනා ග්‍රන්ථ සැක කරන ලෙස සමාජය හැඩගස්වන විට සිවුවනක් පිරිස අතර පිළිපදින්නේ කුමක්දැයි සැකය ඇති වේ. නිසි මඟපෙන්වීමක් නැති තැන ඔවුන් පිස්සන් මෙන් හැසිරෙයි. දැන් සිදු වී තිබෙන්නේ එය යි. මෙම විකෘතිය සමාජගත කරන අය තමන්ව හඳුන්වා දෙන්නේ සිවුපිළිසිඹියාපත් රහතන් වහන්සේලා ලෙසට ය. නමුත් ඔවුන් සිවුපිළිසිඹියාපත් යන්න මොනවාද කියාවත් දන්නේ නැත.

l අවිශ්වාසය, සැකය, අසමගිය හා තනතුරු උදෙසා පවතින බලලෝභය

මෙතෙක් කලකට ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳව අවිශ්වාසයක් සමාජය තුළ ඇති වී තිබුණේ නැත. දැන් කෘත්‍රිමව නිර්මාණය කරන ලද කුඩා කණ්ඩායම් විසින් එම අවිශ්වාසය සමාජගත කර තිබේ. එසේම බුදුරජාණන් වහන්සේට සම්බන්ධ සියලු සිදුවීම් සහ කාරණාවන් ද, ධර්මය ද, සංඝරත්නයට සම්බන්ධ සියලු කාරණාවන් ගැන ද සැකයක් ඇතිවන ලෙස සමාජය හැඩගස්වා තිබේ.

නිකායික තනතුරු හා විහාරාධිපති තනතුරු පත්කිරීම් ආදිය ද භික්ෂු සමාජයේ අසමගිය ඇති කරන්නක් වී තිබේ.

සප්ත අපරිහානීය ධර්ම අනුව භික්ෂු ජීවිතය සකස් විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. විනය පිටකය අනුවම භික්ෂු ජීවිතය හැඩගැස්විය යුතුය.

l නව විහාරස්ථාන ඉදිකිරීමට නොහැකිවීම.

උපසම්පදා වී වස් දහය සම්පූර්ණ වූ විට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ නමක් විය හැකි වූ විට, ස්ථවීර භික්ෂූන් ශිෂ්‍යයින් හැදිය යුතු ය.

එම ශිෂ්‍යයින්ට නිසි කල දී ධර්මප්‍රචාරක කටයුතු සිදුකරමින් ලොව පුරා වැඩම කළ හැකිය. ඒ ඒ පළාත්වල දායක පින්වතුන්ට නව විහාරස්ථාන ඉදි කරමින් තම තමන්ට පින් කර ගන්නට අවස්ථා උදා වේ. එවිට පාරාජිකා තත්ත්වයට පත්වී තවදුරටත් විහාරස්ථානවල සිටින භික්ෂූන් සමඟ ගැටලු ඇතිකර නොගෙන වෙන වෙනම වැඩ වසමින් ශාසනය පවත්වාගත හැකිය. නමුත් කර්ම, කර්ම ඵල විපාක දීම ගැන නොදන්නා නිසාත් ශාසනික පැවැත්ම භාග්‍යවතුන් වහන්සේ සකස් කර තිබෙන ආකාරය නොදන්නා නිසාත් නව විහාරස්ථාන ඉදිකිරීමට නොහැකි ලෙස නීති සකස් කර තිබේ.

l ගිහි පැවිදි දෙපක්ෂයම මේ උතුම් ධර්ම විනය සහ නිවන ගැන නොදැනීම.

බුදු දහමේ උගන්වන ප්‍රධාන ඉගැන්වීම් දැනගත හැකි නිසි ක්‍රමවේදයක් නොමැති නිසා ගිහි පැවිදි දෙපාර්ශ්වය අතර ධර්ම විනය නිවැරදිව දන්නා පිරිස ඉතාම අල්පය. ශාසනයේ පිරිහීමට එය ද ප්‍රධාන හේතුවක් වී තිබේ.

l වෙහෙර විහාර, පන්සල් ඉදිකිරීම සහ දන්දීම ආදිය නිරර්ථක ක්‍රියා ලෙස සමාජගත කිරීම.

නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ආදිය ගැන නොදන්නා නිසා බොහෝ දෙනා වෙහෙර විහාර, පන්සල් ඉදිකිරීම හා දන්දීම ආදිය නිරර්ථක ක්‍රියා ලෙස සමාජගත කරමින් සිටී.

සියලුම සත්ත්වයින්ගේ නාමරූප ධර්මාදියේ හේතුඵල ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ කර්මයයි. කර්මය කියන්නේ චේතනාවටය. නාමරූප ධර්මාදියට ප්‍රධාන හේතුවක් වන කර්මය ගැන ගිහි – පැවිදි දෙපක්‍ෂයේ නොදැනීම ශාසනික පරිහානියට බලපාන තවත් හේතුවකි.

l ඇතුළතින් පිරිහෙන්නේ පිටත සිට එය පිරිහීමට පත් කරන නිසාය.

වර්තමාන ශාසනය පිරිහීමට ඇතුළත හේතු ද බොහෝ නිර්මාණය වී තිබේ. ඉන් බහුතරයක්ම පිටත සිට ඇතුළත නිර්මාණය කළ ඒවාය. බොහෝ අය ශාසනය ඇතුළත තමතමන්ගේ පිරිස් ස්ථානගත කර තිබේ.

ධර්මය ඉතා පිරිසුදුව පවතී. විනය ශාසනයේ අනාගතය සුරක්ෂිත කරමින් කිසිදු අඩුවක් නැතිව පවතී. නමුත් ධර්ම විනය විකෘති කරන සහ කරවන පිරිස් දැනුම්වත්ව මෙන්ම නොදැනුම්වත්ව ද ශාසනය පරිහානියට පත් කරමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT