Home » බදුල්ල නගරය අවට ගෙවල් බින්ද සිව්දෙනෙක් ලක්ෂ 50කට ආසන්න බඩුත් එක්ක මාට්ටු සැකකරුවෝ තදින්ම මතට ඇබ්බැහි වූවන්

බදුල්ල නගරය අවට ගෙවල් බින්ද සිව්දෙනෙක් ලක්ෂ 50කට ආසන්න බඩුත් එක්ක මාට්ටු සැකකරුවෝ තදින්ම මතට ඇබ්බැහි වූවන්

by sachintha
April 23, 2024 1:19 am 0 comment

බදුල්ල නගරය අවට ප්‍රදේශවල ගෙවල් බිඳුම් රැසක් සිදු කළ පුද්ගලයන් සිව්දෙනෙකු රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් දේපළ තොගයක් සමඟ පෙරේදා (21) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල ස්ප්‍රීංවැලි, රිදීපාන, කදන, කටුපැලැල්ලගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 24-30 වයසේ පසුවෙන සිව්දෙනෙකු යැයි පොලිසිය පැවැසීය. මොවුන් විසින් ගෙවල් බිඳුම් සිදුකර සොරාගෙන තිබූ රූපවාහිනී යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි පංකා, ගෑස් සිලින්ඩයක්, වීදුරු භාණ්ඩ, කැසට් යන්ත්‍ර, විදුලි උපකරණ රැසක්, පිත්තල පහන්, පෝච්චි ඇතුළු රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුතු දේපළ තොගයක් බදුල්ල රිදීපාන පුවක්ගොඩමුල්ල, කටුපැලැල්ලගම ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

මෙම සැකකරුවන් තදින්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පැවැසීය. බදුල්ල ස්ප්‍රීංවැලි, බැද්දේගම, රිදීපාන, පුවක්ගොඩමුල්ල ආදී බදුල්ල නගරය අවට පිහිටි නිවාස රැසක් මොවුන් විසින් දිවාකාලයේ මෙසේ බිඳ දේපළ සොරාගෙන ඇති බවත් බොහොමයක් නිවාස හිමියන් දීර්ඝකාලයක් වසා දමා කොළඹ වැනි පිට ප්‍රදේශයේ පදිංචියට ගොස් සිටි ඒවා බවද පොලිසිය සඳහන් කළේය.

මොවුන්ගෙන් තව දුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බවත් තවත් ගෙවල් බිඳුම් රැසක තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් එම සොරාගත් දේපළ ද සැකකරුවන්ගේ ප්‍රකාශ අනුව අත්අඩංගුවට ගැනිමට කටයුතු සිදු කරන බවද පොලිසිය පැවැසීය.

ඌව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.එම්. උපුල් චන්දන, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරී බුද්ධික ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එම්. අබේපාල, උපපොලිස් පරීක්ෂක කුමාරරත්න, පොලිස් සැරයන් (53613) සුමනපාල, (74449) ගයාන්, (54248) ගාමිණි, (17352) වසන්ත, (6742) ප්‍රභාකරන්, (82635) රත්නායක, (80054) විජේරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සොරණාතොට සමූහ – සී. ගමගේ බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT