Home » පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවෙන් සුරා බදු දෙපාර්තුමේන්තුවට නිවේදනයක්

පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවෙන් සුරා බදු දෙපාර්තුමේන්තුවට නිවේදනයක්

by yasara
April 25, 2024 11:50 am 0 comment

පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව 2024.04.24 දින එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

එහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින් ලබා දුන් නියෝග කිහිපයක ප්‍රගතිය විමසූ අතර ඒ යටතේ, සියලුම මත්පැන් නිෂ්පාදකයින්ගෙන් හිඟ බදු අයකර ගැනීම සඳහා ඵලදායී ගෙවීම් සැලැස්මක් ලබාදෙන ලෙස කාරක සභාව විසින් ලබාදුන් නිර්දේශයේ ප්‍රගතිය, සියලුම මත්පැන් නිෂ්පාදකයින් සඳහා සමජාතීය, ව්‍යාජ නොවන ආරක්ෂිත බදු මුද්‍රාවක් හඳුන්වාදීම සඳහා ලබාදුන් නිර්දේශ වල ප්‍රගතිය, ‘සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතිය (RASED)’ නම් වූ තොරතුරු තාක්ෂණ යෙදුම සැකසීම කඩිනම් කිරීම සඳහා ලබාදුන් නිර්දේශයන්හි ප්‍රගතිය, 2023.10.01 සිට 2024.03.31 දක්වා කාලය තුළ නිකුත් කරන ලද නව මත්පැන් බලපත්‍රපිළිබඳ සාකච්ඡා කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත බදු මුද්‍රා ඇලවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ලබාදුන් නිර්දේශයේ ප්‍රගතිය, සුරාබදු කොමසාරිස් ජනරාල් හටසෑම මත්පැන් නිෂ්පාදනාගාරයක්ම නිරීක්ෂණය කිරීම සඳහා CCTV කැමරා සවිකිරීමේ ප්‍රගතිය, නව මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට හෝ පවතින බලපත්‍රය අලුත් කරන විට ඇප මුදලක් තැන්පත් කළ යුතු බවට 1912 අංක08 දරන සුරාබදු ආඥාපනතට නීතිමය සංශෝධන හඳුන්වාදීමේ ප්‍රගතිය යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කාරක සභාවට ලබා දී ඇති වාර්තාව පිළිබඳ මෙම සභා වාරයේ දී සළකා බැලිණ.

ඒ සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් කැඳවා තිබිණ. 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1 බව කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ලබන ජූනි 30 වැනිදා වන විට 2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් අයකර ගැනීමට වහාම කටයුතු කරන ලෙස කාරක සභාව විසින් ශ්‍රී ලංකාසුරාබදුදෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.

මෙහිදී බදුනොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගෙන් බලපත්‍ර බදු ගෙවන තෙක් තාවකාලිකව අත් හිටුවීමට ගෙන තිබු කාරක සභා නියෝගය නොසලකා හැර කටයුතු කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාසුරාබදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.  ඒ අනුව එම මත්පැන් නිෂ්පාදකයින්ගේ බලපත්‍ර අහෝසි නොකොට අදාළ හිඟ බදු මුදල් වාරික වශයෙන් අයකරගැනීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. කෙසේ වෙතත් එමක්‍රමවේදය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බැවින් ජූනි 30 වැනිදා වන විට අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීමට කාරක සභාව විසින් නියෝග  ලබා දෙන ලදී.

එමෙන්ම 2024 වසරට අදාළව පළමු කාර්තුව තුළ සුරාබදු දෙපාර්තමේන්තු ඔවුන්ට ලබාදී තිබු බදු මුදල වන බිලියන 52න් බිලියන 51ක් මේ වන විට එකතු කර ගැනීම මගින් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා තිබීමපිළිබඳව කාරක සභාවේ ප්‍රසාදය එම දෙපාර්තමේන්තුවට හිමිවිය.සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගේ බලපත්‍රය තාවකාලිකව නතර නොකොට ගිවිසුම් අලුත් කරමින් යන ක්‍රමවේදයක් නම් එය සාර්ථක ක්‍රමවේදයක් නොවන බව අවධාරණය කළ සභාපතිවරයා බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයින්ගේ මත්පැන් බලපත්‍ර තාවකාලිකව නතර කිරීමට එරෙහිව මුදල් අමාත්‍යාංශය විසින් ලිඛිතව නියෝගයක් ලබා දී ඇත් ද යන්න ප්‍රශ්න කළේය.

මේ අතර නව මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට හෝ පවතින බලපත්‍ර අලුත් කරන විට ඇප මුදල් තැන්පත් කළ යුතු බවට 1912 අංක 08 දරණ සුරාබදු ආඥා පනතට නීතිමය සංශෝධන හඳුන්වාදීමේ ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේදී විමසා බැලිණි.ඒ අනුව මත්පැන් බලපත්‍රයක් නිකුත් කරන විට හෝ පවතින බලපත්‍ර අලුත් කරන විට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවයඅනුව ඇප මුදල් තීරණය කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

2023.10.01 දින සිට 2024.03.31 දක්වා වූ කාලය තුළ නිකුත් කරන ලද නව මත්පැන් බලපත්‍ර ප්‍රමාණයන් පිළිබඳ සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටියේය. ඒඅනුව නව මත්පැන් බලපත්‍ර 32ක් නිකුත් කර ඇති බව එම නිලධාරීහු කාරක සභාවට දැන්වුහ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හට සෑම මත්පැන් නිෂ්පාදනාගාරයක්ම නිරීක්ෂණය කිරීම සඳහා සීසීටීවී කැමරා සවි කිරීමේ අවශ්‍යතාවය කාරක සභාව විසින් දැඩිව අවධාරණය කරනලදී. ඒ අනුව ඒ සඳහා හැකි ඉක්මනින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට දැන්වුහ. එමෙන්ම සියලුම මත්පැන් නිෂ්පාදකයින් සඳහා සමජාතීය ව්‍යාජ නොවන ආරක්ෂිත බදු මුද්‍රාවක් හඳුන්වාදීම සඳහා ලබාදුන් නිර්දේශවල ප්‍රගතියද මෙහිදී විමසා බැලිණි.ඒ අනුව ජුනි පළමුවැනිදා වන විට වඩාත් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වන QR කේතයක් හදුන්වාදීමට කටයුතු සුදානම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතිය නම් වූ තොරතුරු තාක්ෂණ යෙදුම සැකසීමේ ප්‍රගතියද විමසා බැලිණි.ඒ අනුව මේ වනවිට රුපියල මිලියන 130 පමණ වැයවන එම ආදායම් පරිපාලන පද්ධතියසැකසීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බවත්

අදාළ අනුමැතීන් ලැබූ පසු එම කටයුතු ආරම්භ කිරීමට හැකි බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. සෑම මත්පැන් නිෂ්පාදනාගාරයකම දෛනිකව නිපදවන මත්පැන් ධාරිතාවයට අනුව සුරාබදු අය කර ගත හැකි ක්‍රමවේදයක් එම පද්ධතිය තුළ ස්ථාපිත විය යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

බී ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියෙන් අයුතු ලාභ උපයන පුද්ගලයන් පිළිබඳව සමීක්ෂණයක් සිදු කර එය කාරක සභාවට වාර්තා කරන ලෙසද, පාරිභෝගික සේවා අධිකාරිය මගින් නියම කර ඇති ඇස්තමේන්තුසිල්ලර මිල පරාසයට අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවද කාරක සභාව පාරිභෝගික සේවා අධිකාරිය වෙත නියෝග කළේය. මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය  සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන  ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න,දයාසිරි ජයසේකර,  සංජීව එදිරිමාන්න,  උදයන කිරිඳිගොඩ,  වසන්ත යාපාබණ්ඩාර,  චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වුහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT