Home » තක්කාලි කිලෝව රුපියල් දහයකටවත් දෙන්න බෑ

තක්කාලි කිලෝව රුපියල් දහයකටවත් දෙන්න බෑ

කැප්පෙටිපොළ ආර්ථිකයේ තක්කාලි ගොඩගැහිලා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට අද (24) රැගෙන ආ තක්කාලි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිවීමෙන් තමා මහත් අපහසුතාවකට පත්ව ඇතැයි ගොවීහු පවසති.

වැලිමඩ සහ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් බෝගහකුඹුර, මස්පන්න, බොරලන්ද, අඹගස්දෝව, මැදවෙල ඇතුළු ගම්මාන රැසක ගොවීන් විශාල පිරිසක් මේ කන්නයේ තක්කාලි වගා කර ඇති බව ද වාර්තා වේ.

අද තක්කාලි කිලෝවක් රුපියල් දහයකටවත් විකුණා ගැනීමට නොහැකි වූ බව ගොවීන් කියයි. අධික මිල ගණන්වලට තක්කාලි බීජ, රසායනික පොහොර, බෙහෙත් ආදිය කනකර උකසට තබාගත් මුදල්වලින් මිලදී අරන් මේවා වගා කළේ. වගාවෙන් ලද පලදාවට සාධාරණ මුදලක් නොලැබීම නිසා තමන්ට ද දැන් වස බීමට සිදුව ඇති බව ඔවුහු කියති.

මෙලෙස රුපියල් දහයට පහළොවට තමන්ගෙන් ලබා ගන්නා තක්කාලි කිලෝවක් රුපියල් 75ත් 120ත් අතර මිලකට මිලදී ගැනීමට ජනතාවට සිදුව ඇතැයිද ඔවුහු තවදුරටත් පැවසූහ.

මේ පිළිබඳව කළ විමසීමකදී ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳුන් පැවසුවේ වැලිමඩ සානුවේ විශාල ගොවීහු පිරිසක් විසින් මේ කන්නයේ තක්කාලි වගාව කර ඇති අතර පවතින යහපත් කාලගුණික තත්ත්වය මත ඔවුන්ගේ අස්වැන්න සිතුවාට වඩා සාර්ථකවීම නිසා වැඩි තක්කාලි ප්‍රමාණයක් වෙළෙඳපොළට පැමිණීම මෙයට හේතුව බවත් එබැවින් මේ පිළිබඳව රජය තම අවධානය යොමු කර පසු අස්වැන්න කල් තබා ගැනීමට සුදුසු ක්‍රමයක් ක්‍රියාවට නංවා වෙළෙන්ඳන් මෙන්ම ගොවීන් ද ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් ආසන්නයේ ගොවීන් විසින් රැගෙන විත් අලෙවි කර ගැනීමට නොහැකිව නරක් වූ තක්කාලි විසි කර දමා තිබෙන ආකාරය ද දක්නට ලැබිණි.

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT