Home » කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටන ඇරඹේ

කාන්තා විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටන ඇරඹේ

පළමු තරගය අද ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර

by mahesh
April 25, 2024 1:00 am 0 comment

මේ වසරේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන අවසන් කණ්ඩායම් දෙක තෝරා ගැනෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අඩුබාඩිහිදී අද (25) ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර තරගයෙන් ආරම්භ වෙයි. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ටොලරන්ස් ඕවල් පිටියේදී පැවැත්වේ.

කණ්ඩායම් 10ක් එක්වන තරගාවලියේ මූලික වටය කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් තරග 4කට ක්‍රීඩා කළ යුතු වෙයි. තරග 20කින් සමන්විත එම වටය මැයි 3 වැනිදා දක්වා ටොලරන්ස් ඕවල් සහ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් මැයි 5 වැනිදා අවසන් පූර්ව වටයේ තරග වදින අතර අවසන් මහ තරගය මැයි 7 වැනිදා පැවැත්වේ. අවසන් වටයේ තරග සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර අමෙරිකාව, තායිලන්තය, උගන්ඩාව සහ ස්කොට්ලන්තය එම කාණ්ඩයට ඇතුළත් වෙයි.

සිම්බාබ්වේ, වනුවාටු, එක්සත් අරාබි එමීර්, අයර්ලන්තය සහ නෙදර්ලන්තය ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

මේ තරගාවලියට එක්වන කණ්ඩායම් අතුරින් ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම ශ්‍රී ලංකාව වන අතර මේ වන විට අයිසීසී විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය හිමිව තිබේ. පාකිස්තානය සහ බංග්ලාදේශය ඊට පහළින් සිටියත් බංග්ලාදේශය සත්කාරකයන් වීමත්, පසුගිය වසරේ පෙබරවාරි වන විට පාකිස්තානය (7) ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටීමත්, හේතුවෙන් ඍජුවම ලෝක කුසලාන තරගාවලියට එක් විය.

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් 6 අතරට එක්වීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු විය.

කෙසේ වෙතත් එංගලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව මෑත කාලීනව හිමිකරගත් ජයග්‍රහණ මෙන්ම ආසියානු ක්‍රීඩා උලෙළේදී රිදි පදක්කමක් දිනා ගැනීම ශ්‍රී ලංකා පිල ගැන අවධානය වැඩිවීමට හේතුවී තිබේ. මෙවර තරගාවලියේදී ස්කොට්ලන්තයෙන් සහ තායිලන්තයෙන් ශ්‍රී ලංකා පිලට සැලකිය යුතු මට්ටමේ සටනක් හිමි වනු ඇතැයි විචාරක මතය වී තිබේ.

මේ තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පත්ව ඇති අතර, දකුණු අප්‍රිකානු තරගාවලියේදී දස්කම් දැක්වූ කවීෂා දිල්හාරි, හර්ෂිතා මාධවී සහ විශ්මී ගුණරත්න කෙරෙහිද අවධානයක් යොමුව තිබේ. මේ තරගාවලියට එක්වන ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ ශ්‍රී ලංකාවේ ශෂිනි ගිම්හානිය. 15 හැවිරිදි ක්‍රීඩිකාවන් කිහිපදෙනකු (අමෙරිකාව, එමීර්) කණ්ඩායම් නියෝජනය කළත් ශෂිනි අද වන විට අවුරුදු 15යි දින 129ක ක්‍රීඩිකාවකි. තරගාවලියට එක්වන වයස්ගතම ක්‍රීඩිකාව සිම්බාබ්වේ පිල නියෝජනය කරන අතර ප්‍රිකෙව්ස් මාරන්ජ් වන ඇයගේ වයස අවුරුදු 41කි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය විස්සයි20 පිටියේදී තෙවරක් හමුව ඇති අතර 2018 ආසියානු කුසලාන තරගාවලියේදී හමුවූ පළමු අවස්ථාවේදී ඓතිහාසික ජයක් හිමිකර ගැනීමට තායිලන්ත පිල සමත් විය. තායිලන්ත කාන්තා පිල අයිසීසී පූර්ණ සාමාජික රටකට එරෙහිව වාර්තා කළ පළමු ජය එය විය. කෙසේ වෙතත් අනතුරුව 2022 සහ 2023 හමුවූ අවස්ථා දෙකේදී ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා පිල මේ 27 වැනිදා ස්කොට්ලන්තයට, මැයි 1 දා උගන්ඩාවට සහ 3 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

මේ තරගාවලියේ ශූරියන් සහ අනුශූරියන් මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයේ පැවැත්වීමට නියමිතය විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.

එම තරගාවලියට මේ වන විට සත්කාරක බංග්ලාදේශය සමඟින් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා සිටී.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT