Tuesday, May 14, 2024
Home » මිනී තුනක් මරා වසර 18ක් සැඟව සිටි කුරුඳුමණ්ඩියේ උපුල් බියගමදී කොටු

මිනී තුනක් මරා වසර 18ක් සැඟව සිටි කුරුඳුමණ්ඩියේ උපුල් බියගමදී කොටු

by sachintha
April 29, 2024 1:37 am 0 comment

මනුෂ්‍ය ඝාතන තුනක් සම්බන්ධයෙන් අධිකරණ ඇප මත සිටියදී අධිකරණයන් වෙත ඉදිරිපත් නොවී, නම් සහ ලිපින වෙනස්කර වසර 18ක කාලයක් සැඟව සිටි පුද්ගලයකු බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු මත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වලස්මුල්ල, මෝදරවාන, තමාඩුව ලිපිනයේ වසර 18කට පෙර පදිංචිව සිටි මාතර කංකානම්ගේ උපුල් නොහොත් කුරුඳුමණ්ඩියේ උපුල් නමැත්තායි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මාතර කම්කානම්ගේ උපුල් ප්‍රියංග යනුවෙන් නම වෙනස් කර බියගම, පේරගහමුල ලිපිනයක තාවකාලිකව පදිංචිව සිටි බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු 2005 /2006 වසරවලදී වලස්මුල්ල පොලිස් වසමේදී

මනුෂ්‍ය ඝාතන තුනක් සිදු කිරීම සම්බන්ධයෙන් තංගල්ල, හම්බන්තොට මහාධිකරණ වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් විවෘත වරෙන්තු කර තිබිණි.

බියගම පොලිසියට අනුයුක්ත පො.සැ. (8234) කුමාර නිලධාරියාට ලද තොරතුරකට අනුව මාසයක පමණ කාලයක් සැකකරු සම්බන්ධයෙන් ආවේශන රාජකාරී සිදු කරමින් අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වසර 20ක පමණ කාලයක සිට ඔහුගේ ගම් ප්‍රදේශයට නොගොස් තැන තැන කුලී පදනම මත දරුවා සහ බිරිය සමඟ ගත කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

48 හැවිරිදි සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

මල්වාන – මහානාම විතානගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT