Tuesday, May 14, 2024
Home » ඇළට වැ‍ටුණු දෙහැවිරිදි දරුවා කි.මී 2ක් සැඩ පහරට ගහ‍ෙගන ගිහින් මරුට

ඇළට වැ‍ටුණු දෙහැවිරිදි දරුවා කි.මී 2ක් සැඩ පහරට ගහ‍ෙගන ගිහින් මරුට

by sachintha
April 29, 2024 1:38 am 0 comment

පොලොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ 26 වැනිදා දහවල් 11.00ට පමණ ඉසඩ් ඩී ප්‍රධාන ඇළෙන් ගලාබසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවකු කි.මී. දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් අනතුරුව මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද, ජයවික්‍රමගම, මහවැලි සිංහපුර අංක 27 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු දෙකක් වයසැති ඒකනායක මුදියන්සේලාගේ ඉසුරු ජයනාත් බණ්ඩාර යන දරුවකු බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

මව අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා මෙම දරුවා වැඩිමහල් දියණියට භාර දී ගිය අවස්ථාවේදී දරුවා නිවෙස පිටුපස තිබෙන කෙත් ඇළට වැටී කි.මී. 2ක් පමණ දුරට ගසාගෙන ගොස් තිබේ. වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක සේවකයකු, දරුවකු ගසාගෙන යන අයුරු දැකීමෙන් අනතුරුව පිරිසක් එක්ව එම දරුවා ගොඩගෙන හදිසි ගිලන් රථ සේවය මඟින් වැලිකන්ද රෝහලට ඇතුළත් කොට තිබේ. එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දරුවාගේ සිරුර පොලොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා සඳහන් කළේය.

දරුවා අනතුරට පත්වන මොහොතේ ඔහුගේ පියා ගෙවත්ත පිටුපස ගව ගාලට ගොස් ඇති අතර, වැඩිමල් සොයුරිය මුළුතැන්ගෙයි වැඩ කරමින් සිට ඇති බව ඒ පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කළ වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි. එම්. එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය. සිද්ධිය පිළිබඳ පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

මනම්පිටිය – නිමල් ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT