Home » ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරීන් හිටපු ලේකම්වරියකට එරෙහිව පැවරූ නඩුව නිෂ්ප්‍රභයි

ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරීන් හිටපු ලේකම්වරියකට එරෙහිව පැවරූ නඩුව නිෂ්ප්‍රභයි

by sachintha
April 29, 2024 1:46 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් එහි අලෙවි හා සන්නිවේදන අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්‍රී හංසනී වික්‍රමසිංහ මෙණෙවියට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නඩුව නිෂ්ප්‍රභ කර වගඋත්තරකාරියට රුපියල් 50,000ක නඩු ගාස්තු ගෙවන ලෙස පැමිණිල්ලට නියෝග කරන ලදී.

2012 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අලෙවි හා සන්නිවේදන අංශයේ ලේකම්වරියක ලෙස සේවය කළ ගයාත්‍රී වික්‍රමසිංහ මෙණෙවිය අසාධාරණ හා අභූත හේතුමත සේවයෙන් නෙරපීමේ හේතුව මත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු නිලධාරීන්ට එරෙහිව කම්කරු උසාවියේ නඩුවක් ගොනු කර ඇත. එම නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතින අතර, එහිදී පැමිණිලිකාරියට වාසිදායක වන ආකාරයේ අතුරු තහනම් නියෝග 2ක් අවස්ථා දෙකකදී දී ඇත. එම අතුරු තහනම් නියෝග අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් ගයාත්‍රී වික්‍රමසිංහ මෙණෙවිය වගඋත්තරකාරිය ලෙස නම්කර කොළඹ මහාධිකරණය ඉදිරියේ 2022දී නඩුවක් ගොනු කර තිබේ. එහිදී දෙපාර්ශ්වය දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පැමිණිල්ල නිෂ්‍ප්‍රභ කර කම්කරු උසාවිය දුන් අතුරු තහනම් නියෝගය තහවුරු කළේය.

රාජකාරි වේලාවේදී නිය පාට කිරීම, කොණ්ඩය පිරීම, රූපලාවන්‍ය කටයුතු කිරීම, උස් හඬින් දුරකතන සංවාද පැවැත්වීම, පමාවී සේවයට පැමිණීම ඇතුළු චෝදනා යටතේ ගයාත්‍රී වික්‍රමසිංහ මෙණෙවිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සේවයෙන් නෙරපන ලදී. තමන් සේවයෙන් ඉවත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ දුරාචාර ක්‍රියාවලට අවනත නොවීම නිසා බවට ලිංගික අල්ලස් චෝදනාවක් ඇය පසුව ඉදිරිපත් කරන ලදී.

කම්කරු උසාවියේ විභාග වන නඩුවේදී ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ලිංගික අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ඇගෙන් හරස් ප්‍රශ්න විමසීමට සූදානම් වූ අවස්ථාවේ පැමිණිල්ල එයට විරුද්ධත්වය ප්‍රකාශ කරන ලදී. නඩුවට අදාළ නොවන කාරණයක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීම වළක්වමින් ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව කම්කරු උසාවිය අතුරු තහනම් නියෝගයක් දෙන ලදී. තවත් අවස්ථාවකදී එම සිදුවීම සම්බන්ධ කරුණක් ගැන හරස් ප්‍රශ්න විමසීමට වගඋත්තරකරුවන් සූදානම් වූ විට එම අවස්ථාවේදී ද කම්කරු උසාවිය ඒ් ගැන අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත පෙත්සම මඟින් බලාපොරොත්තු වූයේ ඉහත නඩුව අරභයා කම්කරු උසාවිය නිකුත්කර ඇති අතුරු තහනම් නියෝග දෙක ඉවත් කර ගැනීමය. වගඋත්තරකාරිය වෙනුවෙන් නීතිඥ දිනුෂිකා මිරිහාන මහත්මියගේ උපදෙස් මත නීතිඥ චානක ජයමහ මහතා කරුණු දක්වන ලදී. පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියේය.

චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT