Tuesday, May 14, 2024
Home » යතුරුපැදියේ ගිය තරුණයා මීගවයකු බේරා ගැනීමට යාමේදී කුඹුක් ගසක ගැටී මරු දකී

යතුරුපැදියේ ගිය තරුණයා මීගවයකු බේරා ගැනීමට යාමේදී කුඹුක් ගසක ගැටී මරු දකී

by sachintha
April 29, 2024 1:10 am 0 comment

පොලොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදී පෙරේදා (27) යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද පැරකුම්යාය අංක 452 ලිපිනයේ පදිංචිව සිටි මහගම රාලලාගේ නිපුන් නිර්මාල් පුෂ්පකුමාර විසිවන වියති තරුණයකු බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු වැලිකන්ද නගරයට ගොස් ආපසු නිවෙස බලා ගමන් කරමින් සිටියදී වම් පසින් ආ මී ගවයකු බේරා ගැනීමට යෑමේදී යතුරුපැදිය දකුණු දෙසට හරවා ගැනීමට උත්සාහ දැරීමේදී වේගය පාලනය කිරීමට නොහැකි වූ යතුරු පැදිය කුඹුක් ගසක ගැටී මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය පවසයි.

මෙම යතුරුපැදිය දකුණු දෙසට ගමන් කරන විට පිටුපසින් පැමිණි වැලිකන්ද සිංහපුර පදිංචි අවුරුදු 19ක් වයසති තවත් යතුරුපැදිකරුවකු එම යතුරුපැදියේ ගැටී තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය පවසයි. මෙම අනතුරට හේතුව නොසැලකිළිමත්ව, වේගය පාලනය කරගැනීමට නොහැකි පරිදි යතුරුපැදිය ධාවනය කිරීම බවද ඒ සම්බන්ධ පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසියේ රථවාහන අංශය සඳහන් කරයි. මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මෘත දේහය පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවද වැලිකන්ද පොලිසිය පැවැසීය.

අනතුර සම්බන්ධව පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT