Home » කිළිනොච්චියෙන් තවත් සමූහ මිනී වළක් හමුවෙයි

කිළිනොච්චියෙන් තවත් සමූහ මිනී වළක් හමුවෙයි

by sachintha
April 29, 2024 1:25 am 0 comment

කිළිනොච්චිය, පලෙයි මුහමාලේ ප්‍රදේශයෙන් තවත් සමූහ මිනී වළක් හමු වීමත් සමඟම එම ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස සලකුණු කොට එම ප්‍රදේශයට පූර්ණ ආරක්ෂාව සලසා දෙන ලෙස කිළිනොච්චිය මහේස්ත්‍රාත් ස්මිත් ජෙමිල් මහතා පලෙයි පොලිසියට පෙරේදා (27) නියෝග කොට තිබේ.

මුහමාලේ ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමකට මෙම සමූහ මිනී වළ නිරීක්ෂණය වී ඇති අතර එම ස්ථානයෙන් පුද්ගලයින් තුන් දෙනෙකුගේ බවට සැක සිතිය හැකි මිනිස් ඇටසැකිළි තොගයක් ද තවත් මිනිස් ඇටසැකිලි කොටස්ද හමු වී තිබේ. එම වළේ තවත් කොටසකින් කොටි සාමාජිකයින් භාවිත කළ ආකාරයේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කැබලි විශාල ප්‍රමාණයක් ද හමු වී ඇත.

බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායම වහාම මේ පිළිබඳව පලෙයි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කොට මෙම මිනී වළ සම්බන්ධයෙන් කිළිනොච්චිය අධිකරණය දැණුම්වත් කොට තිබේ.ඒ අනුව අලුතින් හමු වූ මෙම සමූහ මිනී වළ පිහිටි ප්‍රදේශය කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා හා කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. බිම්බෝම්බ ඉවත් කිරීමේදී මතු පිටට ඉලිප්පී පැමිණි මිනිස් ඇටසැකිලි කොටස් හා නිල ඇඳුම් පොලිසිය භාරයට ගන්නා ලෙස ද එහිදී මහේස්ත්‍රාත්වරයා පලෙයි පොලිසියේ නිලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව පොලිසිය එම ද්‍රව්‍ය ඉතා සුරක්ෂිත ලෙස පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා කිළිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශයක් අධිකරණයට ලැබීමෙන් පසුව දින නියම කරන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT