Tuesday, May 14, 2024
Home » සුන්දර ලොග්ගල්ලා ඔය හා රක්ෂිතය කුණු ගොඩක් වෙලා

සුන්දර ලොග්ගල්ලා ඔය හා රක්ෂිතය කුණු ගොඩක් වෙලා

- සුදුසු වැඩපිළිවෙළක් දෙන්නැයි ජනතාව ඉල්ලති

by sachintha
April 29, 2024 1:31 am 0 comment

බදුල්ල – මහියංගණය ප්‍රධාන මාර්ගයේ පිහිටි ලොග්ගල්ලා ඔය සහ වියානා ඇළ රක්ෂිතයන්ට ඇතැම් පිරිස් විශාල ලෙස කැළිකසළ දැමීම නිසා මේ වන විට එම ප්‍රදේශයේ දැඩි පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බව දක්නට ලැබේ.

මෙම මාර්ගයේ ගමන් ගන්නා ඇතැම් පුද්ගලයන් තම නිවෙස්වලින් හා වෙළෙඳසල්වලින් ඉවතලන විවිධ අපද්‍රව්‍ය වාහනවලින් රැගෙන විත් මෙසේ ලොග්ගල්ලා ඔය සහ වියානා ඇළ රක්ෂිතයන්ට දැමීමට හුරු වී ඇතැයි ද, මෙසේ අවිධිමත් ලෙස මාර්ග හා ජලාශ රක්ෂිතයන්ට බැහැර කෙරෙන කැළිකසල ගසාගෙන විත් මාර්ගය අසලම පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශයේ හා වියානා ඇළේ ජලයට ද එකතු වීමෙන් මේ වන විට මෙම ජලාශවල ජලය ද විශාල ලෙස අපවිත්‍ර වෙමින් තිබෙන බවද ප්‍රදේශයේ ජනතාව පවසති.

පරිසර හා ජල දූෂණය සේම මෙම රක්ෂිත ආශ්‍රිතව වෙසෙන රිළවුන්, වඳුරන්, වැලිමුවන්, ඉත්තෑවන්, ගෝනුන්, වන අලින් ඇතුළු වන සතුන් මෙම කැළිකසල ආහාරයට ගැනීමෙන් එම සතුන්ට ද විශාල හානියක් සිදුවිය හැකි බව ජනතාව පෙන්වා දෙති. එමෙන්ම ඇතැම් සතුන් එම කැළිකසළ තැනින් තැනට ඇදගෙන යාම නිසා ප්‍රදේශයේ විශාල දුගඳක් ද පවතින අතර මෙම තත්ත්වය මත සුන්දර ලොග්ගල්ලා ඔය හා එම රක්ෂිතය කසළ ගොඩක් බවට පත්වෙමින් ඇති බව පෙන්වා දෙන ජනතාව, විශාල පාරිසරික හානියක් සිදුවන මෙම ක්‍රියාව නතර කිරීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

හාලිඇළ සමූහ ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT