Home » 22න් පහළ ආසියානු බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

22න් පහළ ආසියානු බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

by sachintha
April 18, 2024 2:50 am 0 comment

රටවල් 24කින් ක්‍රීඩකයන් 400කට අධික සංඛ්‍යාවක් තරග වදින අවුරුදු 22න් පහළ ආසියානු බොක්සිං ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් සිව්දෙනකු සහභාගි වීමට නියමිතය. මේ මස 22 වැනිදා සිට මැයි මස 8 වැනිදා දක්වා කසකස්තානයේ අස්ටානා නුවර පැවත්වෙන අවුරුදු 22න් පහළ ආසියානු බොක්සිං ශූරතාවලියේදී පදක්කම් බලාපොරොත්තු තබා ගත හැකි බවට ශ්‍රී ලංකා බොක්සිං ආයතනය විශ්වාසය පළ කර තිබේ.

පසුගිය වසරේදී ජාතික බොක්සිං ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසත්, 2022 වසරේ සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසත් සම්මාන දිනූ කිලෝග්‍රෑම් 52 බර පන්තියේ හිටපු ජාතික ශූරයකු වන පසිඳු උමයංග මිහිරාන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු බොක්සිං වළල්ලට එක්වෙයි. ඔහු පසුගිය වසරේදි මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

පසුගිය වසරේදි ස්ටබ්ස් පලිහ බොක්සිං ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් යසිඳු ප්‍රේමරත්න කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරගාවලියට එක්වන අතර, ඔහු පසුගිය වසරේ මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම් ලාභියකු ද වේ.

මීට අමතරව පසුගිය වසරේදී ටී.බී.ඡායා බොක්සිං තරගාවලියේ සහ ස්ටබ්ස් පලිහ බොක්සිං තරගාවලියේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගත් සල්මාන් ෆාරිස් ද ආසියානු තරගාවලියට එක් වී සිටී. හෙතෙම පසුගිය වසරේ මැලේසියාවේ පැවැති ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම් ලාභියෙකි. වසර 2022 සහ 2023 ස්ටබ්ස් පලිහ බොක්සිං තරගාවලියේ පිට පිට ජය ලැබූ යොවුන් ක්‍රීඩකයකු වන හේෂාන් ජයසිංහ ද තරගාවලියට එක් වී සිටී.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT