Home » හදවත් රෝගියෙක් අස්වැසුම හදාගන්න 13 වතාවක් නාචිචාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින්

හදවත් රෝගියෙක් අස්වැසුම හදාගන්න 13 වතාවක් නාචිචාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින්

by sachintha
April 22, 2024 1:22 am 0 comment

ජන හා නිවාස සංගණනය නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් අස්වැසුම හිමිකම නොලැබුණු හදවත් රෝගියකු පිළිබඳ පුවතක් නාච්චදූව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මේ වන විට වසර 13ක කාලයක් හදවත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබන ඔහු 13 වතාවක් අස්වැසුම හිමිකම ලබා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් තිබේ. මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ නාචිචාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 538, පලයාකුලම, තුලානේ පදිංචි කේ.බී. ටිකිරිබණ්ඩා (64) මහතාය. ජන හා සංගණන තොරතුරු නිසි පරිදි ඇතුළත් නොවීම හේතුවෙන් අස්වැසුම හිමිකම ලබා දිය නොහැකි බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් තම බිරිය වෙත පවසා ඇතැයි ද ඔහු සඳහන් කළේය. ජන හා සංගණන තොරතුරු අදාළ කාර්යාලවල සටහන් තබන්නේ තමා හෝ තමාගේ ස්වාමියා නොවන බවත් එය නිලධාරීන්ගේ කටයුත්තක් බවත් රජයේ නිලධාරීන් නිසි පරිදි එය ඉටු නොකිරීම කනස්සල්ලට හේතුවක් යැයි ඔහු පැවැසීය.

සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතාගේ බිරිය වන ආර්.කේ. හේමා දමයන්ති (56) මෙසේ පැවැසුවාය.

“මගේ මහත්තයා අවුරුදු දහතුනක් තිස්සේ හදවත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබනවා. බෙහෙත් සියල්ල ගන්න වෙලා තියෙන්නෙ ෆාමසිවලින්. මාසෙකට රුපියල් 15000ක් බෙහෙත්වලට විතරක් යනවා. වෛද්‍යවරු කියලා තියෙන්නේ එයාට කිසිඳු වැඩක් කරන්න එපා කියලා. අද ජීවනබර දරා ගන්න අමාරුයි. අපේ දරුවන් නැත්තං අපි මෙලහකටත් මැරිලා. කුලී රැකියාව එකම ජීවන මාර්ගයයි. අපි වගේ අයට තමයි රජයෙන් සහන ලැබෙන්න ඕනේ. ඒ නිසයි දහතුන් වතාවක් අස්වැසුම හිමිකම ලබා ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මම ගියේ. ඒ ගිය හැම දවසකම මම ආපසු හිස් අතින් ආවා. රජයේ නිලධාරීන්ගේ කටයුත්තක් නිසා අපි අද දුක් විඳිනවා. හරි නම් අස්වැසුම හිමිකම රටේ ජනතාවට ලබා දුන්නු දවසේ ඉඳලා හිඟ මුදලුත් එක්ක මට ලබා දෙන්න. මම ඒ සංඛ්‍යාලේඛන තොරතුරු ගන්න ආව නිලධාරීන්ට, මහත්තයා මෙච්චර කාලයක් බීපු බෙහෙත් උර කිහිපයකුත් පෙන්නුවා. හරිම දුකයි මේ වනතෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සාධාරණයක් ඉටුවූයේ නෑ. මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේ යැයි මම බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබදව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කළේ යම් යම් ගැටලු මතු වූ අයවලුන් සඳහා ඉදිරි වටයක දී සාධාරණයක් ඉටුකිරීමට නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇති බවයි.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT