Home » තිරුච්චි නුවර ශ්‍රී ලාංකික සරණගත කඳවුරේ නාලනී ඉන්දියාවේදී ඡන්දය භාවිත කර ඉතිහාසගත වෙයි

තිරුච්චි නුවර ශ්‍රී ලාංකික සරණගත කඳවුරේ නාලනී ඉන්දියාවේදී ඡන්දය භාවිත කර ඉතිහාසගත වෙයි

by sachintha
April 22, 2024 1:25 am 0 comment

ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුච්චි නුවර ශ්‍රී ලාංකික සරණාගත කඳවුරෙහි පදිංචිව සිටින කේ.නාලනි එරට ඉතිහාසයේ පළමුවරට ඡන්දය භාවිත කළ සරණාගත පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වූ බව ‘හින්දු‘ පුවත් සේවය වාර්තා කළේය. 38 හැවිරිදි නාලනී වසර 1986දී තිරුච්චි නුවර මණ්ඩපම්හි පිහිටි ශ්‍රී ලංකා සරණාගත කඳවුරෙහි උපත ලබා ඇති අතර, වසර 2022දී මදුරාසි මහාධිකරණය මගින් ඇයට ඉන්දීය පුරවැසිභාවය පිරිනමා තිබූ බව ද වාර්තා වේ.

පසුව නැගෙනහිර තිරුච්චි ප්‍රදේශයේ ඡන්දදායකයෙක් ලෙස ඇය ලියාපදිංචි කර ඇති අතර, පසුගියදා ආරම්භ වූ ඉන්දීය මහමැතිවරණයේ පළමු අදියර යටතේ පැවැති තමිල්නාඩුවේ ඡන්ද විමසීමට පෙර ඇය විසින් ඉල්ලුම් කළ පරිදි ඇගේ ඡන්ද හැඳුනුම්පත තැපෑලෙන් ලැබී තිබූ බව ද ‘හින්දු‘ පුවත් සේවය වාර්තා කළේය. ඒ අනුව පසුගිය සිකුරාදා ඇය සාන්ත ලූර්ඩ්ස් ප්‍රාථමික පාසලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කරමින් ඉන්දීය ඉතිහාසයට එක් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

උපතින් ඉන්දීය ජාතිකයන් වන නාලනීගේ මවුපියන් එවකට ශ්‍රී ලංකාවේ තේවතුවල සේවය කිරීමට පැමිණ සිටි අතර, පසුකාලීනව නැවත ඉන්දියාවට සංක්‍රමණය වීමෙන් පසු තිරුච්චි සරණාගත කඳවුරෙහි පදිංචි කර ඇතැයි ද වාර්තා වේ. නාලනීට ඉන්දීය පුරවැසිභාවය හිමි වී ඇත්තේ ඉන්දියාවේ උපත ලැබූ පුද්ගලයන්ට ස්වයංක්‍රීයවම එරට පුරවැසිභාවය හිමිවීමේ කාලපරිච්ඡේදය ලෙස සැලකෙන 1950 ජනවාරියේ සිට 1987 ජූලි මාසය දක්වා අතරතුර කාලයේ ඇය උපත ලබා ඇති බැවිනි.

‘කවුරු බලයට ආවත් සරණාගතයන් ලෙස මෙහි ජීවත්වන අපේ මිනිස්සුන්ගේ හඬට සවන් දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. මම මගේ මුළු ජීවිත කාලයම කඳවුරුවල ගත කළා. එවැනි ජීවිත ගෙවන මිනිස්සුන්ගේ දුෂ්කරතා මම අත්වින්දා. මගේ සැමියා ත්‍රිරෝද රථ රියැදුරෙක්. ඔහුගේ ආදායමෙන් තමයි මමයි මගේ පුතාලා දෙන්නායි ජීවත් වෙන්නේ. අද ඡන්දය ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මගේ එකම බලාපොරොත්තුව මගේ පවුලටයි දරුවන් දෙන්නාටයි. ඉන්දියානුවන් විදිහට ඉන්දියාවේ බියෙන් තොරව ජීවත් වීමට පරිසරයක් උදාවෙනවා දැකීමයි.‘ නාලනී හින්දු පුවත් සේවයට එසේ ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT