Home » ආසියානු රග්බි ශූරතාවලියට අවසන් 30ක් තේරීම අද

ආසියානු රග්බි ශූරතාවලියට අවසන් 30ක් තේරීම අද

by sachintha
April 23, 2024 1:14 am 0 comment

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලිය ඉලක්ක කරමින් ගොඩ නැඟූ මූලික සංචිතය ක්‍රීඩකයන් 39ක් දක්වා අඩු කර ඇති අතර, අවසන් පුහුණු සැසියෙන් පසු ක්‍රීඩකයන් 30 දෙනාගෙන් සමන්විත අවසන් සංචිතය නම් කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා අවසන් කණ්ඩායම තෝරාගැනීමේ පුහුණු සැසිය සනත් මාටිස් ප්‍රමුඛ නිල්ෆර් ඉබ්‍රාහිම් සහ දුෂ්‍යන්ත ලෙව්කේගේ පුහුණුකාරීත්වය යටතේ ඊයේ සීආර් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, අවසන් සංචිතය අද නම් කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සමඟ කටාර් රාජ්‍යය සහ පාකිස්තානය සහභාගිවීමට නියමිතව තිබූ එම තරගාවලියෙන් පාකිස්තානය ඉවත්වීම හේතුවෙන් කටාර් රාජ්‍යය සමඟ තරගය පමණක් ශ්‍රී ලංකාවේ පැවැත්විමට මීට පෙර සැලසුම් කර තිබූ අතර, අවසන් මොහොතේදී ඉන්දියාව සහ කසකස්තානය ද තරගාවලියට එක්වී ඇත. ඒ අනුව ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලිය සිව්කොන් තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලිය මේ මස 30 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වීමට නියමිත අතර, එදින ශ්‍රී ලංකා පිලේ පළමු තරගය ඉන්දියාව සමඟ පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ. මෙවර තරගාවලියේ ජයග්‍රාහකයන්ට ලබන වසරේ ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියේ ප්‍රධාන තරගාවලියට එක්වීමේ අවස්ථාව ලැබේ.‍ ශ්‍රී ලංකා 39 දෙනාගේ සංචිතයට ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් මෙන්ම යොවුන් ක්‍රීඩකයන් රැසක් ද ඇතුළත් වන බව වාර්තා වේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT