Home » දඹුල්ල ආර්ථිකයේ එළවළු තොග මිල කුණුකොල්ලෙට ගියත් ආර්ථිකයෙන් ගේන එළවළු මුදලාලිලා ගිනි ගානට විකුණලා

දඹුල්ල ආර්ථිකයේ එළවළු තොග මිල කුණුකොල්ලෙට ගියත් ආර්ථිකයෙන් ගේන එළවළු මුදලාලිලා ගිනි ගානට විකුණලා

by sachintha
April 24, 2024 1:50 am 0 comment

දිනෙන් දින පහත වැටෙන එළවළු මිල හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු ගොවීන් දැඩි අපහසුතාවයට පත් වෙද්දී අතරමැදි ව්‍යාපාරිකයන් පිරිසක් අධික ලාභ ලබමින් කටයුතු කරන බව මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන චෝදනා කරයි.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල ශීඝ්‍ර ලෙස පහත වැටී තිබේ. පසුගියදා (22) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිකුත් කළ මිල දර්ශනයට අනුව එළවළු කිලෝවක තොග මිල සටහන් වූයේ ගෝවා 110.00 – 120.00 අතර, බෝංචි 130.00-150.00 අතර, ලීක්ස් 160.00-180.00 අතර, තක්කාලි 20.00-30.00 අතර, රාබු 35.00-40.00 අතර, කැකිරි 15.00-20.00 අතර ආදී වශයෙනි. සෙසු එළවලු හා පලතුරුවල මිල ද රුපියල් සියයට අඩුවෙන් අලෙවි වූ අතර, ගොවීන් පවසන්නේ ඉහත මිල ගණන්වලින් ආර්ථික මධ්‍යස්ථානය ලබා ගන්නා කොමිස් මුදල හා ප්‍රවාහන ගාස්තු ඉවත් කළ පසු ගොවීන්ට ලැබෙන මුදලක් නොමැති බවයි.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ලබා ගන්නා තොග එළවළු අලෙවි කරන මාතලේ හා දඹුල්ල අතර එළවළු වෙළෙඳසල්වල එළවළු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 250.00 සිට රුපියල් 300.00 දක්වා මිල ගණන් යටතේ බව පාරිභෝගිකයෝ කියා සිටිති. මේ අතර ඇතැම් ව්‍යාපාරිකයන් මේ දිනවල එළවලු කිලෝවක් රුපියල් 500.00ක් දක්වා මිල ගණන් යටතේ අලෙවි කරන බවද පාරිභෝගිකයෝ කියා සිටිති. මෙම තත්ත්වය හේතුවෙන් අතරමැදි ව්‍යාපාරිකයන් අධික ලාභ ලබන බවත්, දුක් මහන්සි වී එළවළු වගා කරන ගොවීන්ට අත්ව ඇත්තේ සෝචනීය ඉරණමක් බවත් ගොවීහු පෙන්වා දෙති. පවත්නා අතරමැදි සූරාකෑම් පාලනය සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කියා සිටින මාතලේ දිස්ත්‍රික්කයේ එළවළු වගාකරුවන් අවධාරණය කර සිටින්නේ සිය කනකර බඩු පවා උකසට තබා වගා කටයුතු සිදු කළ ද අලෙවි කළමනාකරණයක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි.

ගොවීන් චෝදනා කරන එළවළුවල මිල අධික වීම සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ද අදහස් විමසූ අතර, නාඋල, මඩවල, පලාපත්වල, මාතලේ හා දඹුල්ල එළවළු ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු කියා සිටියේ ගොවීන් වෙළෙඳපොළට ලබා දෙන එළවළුවල ඉවත් කළ යුතු එළවළු ප්‍රමාණය වැඩි බවයි. නරක් වූ එළවළු හා කෘමි හානි සිදු වූ එළවළු ගොවීන් විසින් හොඳ එළවළු අතරට සඟවා අලෙවි කරන බවත්, ඒවා ඉවත් කිරීමේදී මිලදී ගත් නිසි බර එම එළවළුවල නොමැති බවත් ව්‍යාපාරිකයෝ කියා සිටිති.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ප්‍රවාහන වියදම් මෙන්ම පවතින අධික වියළි කාලගුණය හමුවේ එළවළු වියළී යෑම වැනි කාරණා හේතුවෙන් තොග මිලට ලබා ගන්නා එළවළු විකිණීමේදී තමන්ට ද පාඩු සිදු වන බවයි. කෙසේ වෙතත් එළවළු හා පලතුරු සඳහා නිසි ඇසුරුම් ක්‍රමවේද හා ගොවීන්ට ද සාධාරණ මිලක් හිමි වීමේ ක්‍රමවේදයක් රජය සකසන්නේ නම් එය ප්‍රායෝගික ක්‍රියාදාමයක් බව ද එළවළු ව්‍යාපාරිකයෝ කියා සිටියහ.

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT