by sachintha
April 24, 2024 1:59 am 0 comment

මහරගම අවදානම් සහිත අනාරක්ෂිත ගස් කපා ඉවත් කෙරේ

මහරගම නගර සභා බල ප්‍රදේශය තුළ අවදානම් හා අනාරක්ෂිත ගස් කපා ඉවත් කිරීමේ වැඩසටහන යටතේ මහරගම නගරය ආශ්‍රිතව පිහිටි වසර පනහකට වඩා පැරණි බෝගස් දෙකක අතු කපා ඉවත් කිරීමට (21) දා පියවර ගත් බව මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා පැවසීය.

මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට පිහිටි පෞරාණික බෝ ගසක අතු දෙකක් මීට මාසයකට පමණ පෙර අධික වර්ෂාව හමුවේ හයිලෙවල් මාර්ගයට කඩා වැටී කාන්තාවක ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ අතර එහිදී වාහන හතරකට ද හානි සිදු වීමෙන් අනතුරුව විවිධ පාර්ශ්ව කළ ඉල්ලීම් පිළිබඳ සලකා බලා මෙම පියවර ගත් බව ලේකම්වරයා කියයි.

ඒ අනුව නගර සීමාව තුළ පිහිටි අනාරක්ෂිත හා අවදානම් සහගත විවිධ වර්ගයේ ගස් කපා ඉවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් එහි පළමු පියවර ලෙස මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට බෝගස සහ වත්තේ ගෙදර හන්දියෙන් නාවින්න දෙසට හැරෙන හන්දියේ පිහිටි පෞරාණික බෝ ගසෙහි අතු කපා ඉවත් කිරීමට පියවර ගත් බවත් පැවසේ.

මෙම ගස්වල අතු කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් දින 14කට පෙර දැන්වීම් හරහා මහජනතාව දැනුවත් කොට බෝ ගස්වල අතු කපා ඉවත් කළ බවත් ඇතැම් බෝ අතු අධි බලැති විදුලි රැහැන්වලට හා යාබද මහල් ගොඩනැඟිලිවලට බරපතළ ලෙස බාධා වන අයුරින් වැවී තිබූ බව ද පැවසේ.

මේ සඳහා වැයවන සියලු මුදල් නගර සභාව මගින් වැය කරන අතර ඉදිරියේදී නගර සභා බලසීමාවේ ලැයිස්තුගත කර ඇති සියලුම අවදානම් ගස් 100කට ආසන්න ප්‍රමාණයක් කපා ඉවත් කිරීමට පියවර ගන්නා බව ද නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා වැඩිදුරටත් කීය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT