Home » මදුරන්කුලිය බබා මාමාගේ පල්ලියට ලෙඩ සුව කරගන්න ආ දෙදරු මව පාස්ටර් දුන් ජලය බීමෙන් මරුට

මදුරන්කුලිය බබා මාමාගේ පල්ලියට ලෙඩ සුව කරගන්න ආ දෙදරු මව පාස්ටර් දුන් ජලය බීමෙන් මරුට

by mahesh
April 25, 2024 1:00 am 0 comment
මර­ණ­යට පත් දෙදරු මව

භූත දෝෂයක් දුරු කර ගැනීමට රෝග සුව කරන බව පැවසෙන මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ කුඩා පල්ලියකට ගිය කාන්තාවක් එහිදී ලබා දුන් ජලය පානය කිරීමෙන් පසු අසාධ්‍යව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (23) අලුයම මියගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමැති දෙදරු මවකි.පනස් අට හැවිරිදි ඇය වසර 35කට ආසන්න කාලයක් මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කර තිබේ. ඇය අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නගරයේ සේවය කරමින් සිට ඇති බව ඥාතීහු පවසති.එසේ සේවය කරමින් සිට සති කීපයකට පෙර මෙරටට පැමිණි මේ කාන්තාව යම් මානසික අපහසුතාවකින් සිටිම නිසා එකම දියණිය ඒ පිළිබඳව විමසිමේදී පවසා ඇත්තේ මැද පෙරදිග රටක සේවය කරමින් සිටියදී යම් කිසි භූතයකු තම සිරුරට ඇතුළු වී තමන්ට කරදර කරන බවත් එය සුව කර ගැනීමට හැකි තැනක් සොයා දෙන ලෙස දියණියට පවසා ඇති බවයි.

එහිදි තම මව කිසියම් මානසික රෝගයකින් පෙළෙන බව තේරුම් ගත් දියණිය ඇය වෛද්‍යවරයකුට පෙන්වීමට උත්සාහ ගත්තද මේ කාන්තාව දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කර ඇත.

පසුව පවුලේ ඥාතීන් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයේ පවත්වාගෙන යන බබා මාමාගේ පල්ලිය ලෙස හැඳින්වෙන ස්ථානයේදී මෙවැනි කටයුතුවලට ප්‍රතිකාර කරන බව දැන ගැනීමෙන් පසු එතැනට දින කීපයකට පෙර රැගෙන ගොස් තිබු බවත් එහිදී අදාළ ස්ථානයේදී ජල බෝතල් කීපයක් පානය කිරීමට දී නැවත 23 වැනි දින පැමිණෙන ලෙස කළ දැනුම්දීමෙන් පසු මේ කාන්තාවට එහි රැගෙන ගිය බව ඥාතීහු පවසති. අදාළ ස්ථානයේ පැවැත්වෙන සුව මෙහෙයවලට මෙලෙස මේ කාන්තාව රැගෙන ගොස් ඇති බව කියයි.මෙහිදී මේ කාන්තාවට අදාළ ස්ථානයේ කටයුතු සිදුකරන පාස්ටර්යැයි හඳුන්වන පුද්ගලයා විසින් ජල බෝතල් කීපයකට ආශීර්වාද කිරීමෙන් පසු පානය කිරීමටදී ඇති බවත් එසේ පානය කිරීමෙන් පසු දැඩි ලෙස මේ කාන්තාව අසාධ්‍යව වී ඇඳුම් පවා ගලවා දැමීමට උත්සාහ කර ඇති බවත් ඒ සමඟ දැඩි ලෙස විජලනයට ලක්වී ස්වසන ආබාධයකට ලක්වී ඇති බවත් ඒ සමඟ මේ කාන්තාව බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු ලොරියක නංවා පුත්තලම රෝහලට රැගෙන ඒමෙන් පසු මරණයට පත්වු බව ඥාතීහු පවසති.

මෙසේ මරණයට පත්වු දෙදරු මවගේ ඥාතීන් පවසන්නේ ඇය මේ ස්ථානයට රැගෙන ගිය අවස්ථා දෙකෙහිම විශාල පිරිසක් ඒ ස්ථානයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් පැමිණි සියලු දෙනාට පාස්ටර් ලෙස හැඳින්වු මේ පුද්ගලයා විසින් ජලය බීමට දී ආශීර්වාද කිරීම සිදුවු බවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ බබා මාමාගේ පල්ලිය ලෙස හඳුන්වන ස්ථානය වසර 20ක කාලයක සිට පවත්වාගෙන යන බවයි.එහි රෝගීන් සුවපත් කිරීම ඇතුළු දේවල් බබා මාමා නැමති අයකු කර ඇති බවත් ඔහු මියයෑමෙන් පසු ඔහුගේ පුතායැයි කියන තැනැත්තා විසින් ඒ කටයුතු සිදුකරන බවයි. මේ මරණයෙන් පසු අදාළ ස්ථානය පිළිබඳව පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක විජය සමරතුංග මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබුණි. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් පැවැත්වීමට කටයුතු කරමින් තිබුණි. මේ මරණය සම්බන්ධව මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපති ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පැවැත්වීමට නියමිතව තිබුණි.

පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT