Sunday, May 5, 2024
Home » ජනතාව යළිත් අරගලයකට නොයන ආර්ථිකයක් ගොඩනඟන්න කටයුතු කරනවා

ජනතාව යළිත් අරගලයකට නොයන ආර්ථිකයක් ගොඩනඟන්න කටයුතු කරනවා

-දකුණු ආසියාවේ එකම අහස් පාලම සහිත ‘ITC රත්නදීප’ හෝටල් සංකීර්ණය විවෘත කරමින් ජනපති කියයි

by sachintha
April 26, 2024 1:02 am 0 comment

මෙරට ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. කඩාවැටුණු ආර්ථිකය වසර දෙකක කාලයක් තුළ ගොඩනැඟීමට ක්‍රියා කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් ඇති කර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බවද කියා සිටියේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ‘ITC රත්නදීප’ සුඛෝපභෝගි ජාත්‍යන්තර හෝටල් සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට ඊයේ (25) එක් වෙමිනි.

කොළඹ ගාලුමුවදොර සමීපයේ පිහිටා ඇති ITC රත්නදීප හෝටලය ITC හෝටල් ජාලයෙහි පළමු ජාත්‍යන්තර හෝටලය වේ. එය කීර්තිමත් ITC Ltdහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Welcom Hotels Lanka Ltd විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන ව්‍යාපෘතිය වේ. ඩොලර් මිලියන 300ක ඉන්දීය ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මේ ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවෙන් පිටතදී කළ විශාලතම ඉන්දීය ආයෝජනය වේ.

ගාලු‍මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර 5.86ක වපසරියක ඉදි කර ඇති මේ ව්‍යාපෘතියේ උසම ගොඩනැඟිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224කි. එය අධි සුඛෝපභෝගි කාමර 352කින් සමන්විතයි.

මෙහි සුවිශේෂත්වය වන්නේ මේ ගොඩනැඟිලි ද්විත්වය යා කරමින් ඉදි කරන ලද මීටර් 55ක දිගකින් යුත් Sky Bridge හෙවත් අහස් පාලම දකුණු ආසියාවේ එකම අහස් පාලම වීමයි. මේ අහස් පාලම අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකකින් සමන්විත වන අතර, එහි සිටින පිරිස් වෙත ආහාරපාන ගැනීමට ‘අහස’ නමින් හැඳින්වෙන ස්ථානයක්ද ඉතා අලංකාර දර්ශනපථයක් හසු වන පරිදි ස්ථාපිත කර තිබේ.

හෝටල් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

“ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔබේ රත්නදීප හෝටලය දැන් ඉතා දීප්තිමත් දිවයිනකට පැමිණ තිබෙනවා. ඉතින් ITC රත්නදීප හෝටලය ශ්‍රී සංචාරක ක්ෂේත්‍රයේ ස්වර්ණමය සැතපුම වෙත එක් වූ මේ මොහොතේ මෙහි පැමිණීමට ලැබීම පිළිබඳ අප සියලු දෙනා සතුටු වනවා.

“ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මෙහි තිබෙනවා. ඒ වගේම ඉන්දියාවේ ටාජ් හෝටලය මෙහි තිබෙනවා. සිංගප්පූරුවේ සිට පැමිණි ෂැංග්‍රිලා හෝටලය තිබෙනවා. ඒ අතරට සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලය තිබෙනවා. ඒ වගේම ඔබට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.

මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියොජනය කරනවා. ශ්‍රී ලාංකිකයන්ද ඔවුන්ගේ සන්නාමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ හෝටල් දෙකක් තියෙනවා. ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර, බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේ ඉන්දියාවයි. ඒ නිසා ඉන්දීය හෝටල් දෙකකුත් සිංගප්පූරුවේ හෝටලයකුත් මෙහි තිබෙනවා.

“මම හිතන්නේ නැහැ ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂ ස්ථානයක් අත් කරගන්න පුළුවන් වෙයි කියලා. මෙය කොළඹ සහ කොළඹ සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත් වනු ඇති බවට මට සැකයක් නැහැ. ඉතින් ඉන්දියාවෙන් පිටත ITC විවෘත කළ පළමු හෝටලය බවට පත් වෙමින් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඉන්දියාව තුළ නිර්මාණය කළ කාමර 10,000කින් යුත් හෝටල් සමූහයෙන් පසු ITC සමාගම ඔවුන් පැමිණිය යුතු හොඳම තැන ලෙස ශ්‍රී ලංකාව තෝරාගත්තා. නේපාලයේ කත්මණ්ඩු නුවර ඉදි කෙරෙමින් පවතින අනෙක් හෝටලය සමඟද සබදතා පවත්වන බවට මට සැකයක් නැහැ.

“එබැවින් ITC මෙහි පැමිණීමද ඔබ සැම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන කැප වීමක් බව සඳහන් කළ යුතුයි. ඔබට දියුණු කළ හැකි ශ්‍රී ලංකාවේ තවත් ස්ථාන පවතින බවට කිසිදු සැකයක් නැහැ. ඉදිරි දශකය තුළ කොළඹ ජනාධිපති මන්දිරය මාදිවෙලට ගෙන යන විට ජනරජ චතුරශ්‍රය, නාවික හමුදා මූලස්ථානය, පරණ ජැටිය, රේගු මන්දිරය සහ මහ තැපැල් කාර්යාලය ආදී ස්ථාන සියල්ලම සංචාරක නගරයේ අංගයන් ලෙස සංවර්ධනය කළ හැකියි.

“මීට වසර දෙකකට පෙර රට තිබුණු තැන ඔබලාට මතක ඇති. හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය වටලලා අරගලයක් එදා සිදු කළා. එදා ආර්ථිකය බිඳවැටිලා ජනතාව අරගලයක හිටියේ. එහෙත් කඩාවැටුණු ආර්ථිකයට වසර දෙකක් ඇතුළත පණ දීමට අපට හැකි වුණා. අද ලෝකයේ තිබෙන ප්‍රධාන හෝටල් සමූහයක් වන ITC ජාලය මඟින් රත්නදීප තරු පන්තියේ හෝටලය විවෘත කරනවා. එමඟින් කොළඹ සංචාරක නගරයක් බවට පත් කළ හැකියි. ගාලුමුවදොර හෝටලය, ටාජ් හෝටලය, ෂැංග්‍රිලා හෝටලය අද මේ විවෘත කරන රත්නදීප හෝටලය තරු පන්තියේ හෝටල් නිසා සංචාරක ව්‍යාපාරයේ බලාපොරොත්තු තැබිය හැකියි. එය කඩාවැටුණ ආර්ථිකය ගොඩනැංවීමට එය මහත් රුකුලක් වේවි. මෙවැනි හෝටලයක් ආරම්භ කිරීම ගැන ICT සමාගමට ස්තුති වන්ත වන අතර ශ්‍රී ලංකාව තුළ තවත් හෝටල් ආරම්භ කරන ලෙසද ඉල්ලා සිටිනවා. සංචාරක ව්‍යාපාරය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් දෙන්න අප සූදානම්. නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.”

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ICT රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

ඡායාරූප – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT