Sunday, May 5, 2024
Home » නඩු පිට නඩු නිසා ගුරුවරුන් බඳවා ගැනීම නතර වෙලා

නඩු පිට නඩු නිසා ගුරුවරුන් බඳවා ගැනීම නතර වෙලා

ගුරු විභාග තහනම ගැන නීතිඥවරයකු ලෙස ලජ්ජා වෙනවා -ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

by sachintha
April 26, 2024 2:51 am 0 comment

අධිකරණයේ දැනට විභාග වන නඩු කටයුතු අවසන් කර සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අවසර ලැබුණොත් ගුරු හිඟය පියවීමට හැකි වන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය. සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට එරෙහිව ගොනු කර තිබෙන නඩුව මාස 14ක් තිස්සේ අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් මේ හේතුව නිසා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සිටින ගුරුවරුන් බඳවා ගැනීමට නොහැකිව සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.

මාස 14ක් තිස්සේ ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් කර තිබීම ගැන නීතිඥවරයකු ලෙස ලැජ්ජාවට පත් වන බවත් මෙම විභාගය පසුගිය වසරේ මාර්තු 25 වැනිදා පැවැත්වීමට තිබූ බවත් ඇමැතිවරයා මතක් කළේය. සංවර්ධන නිලධාරීන් 33ක් මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කිරීම නිසා ගුරුවරුන් 22,000ක් බඳවා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව ඇති බවත් විභාගයක් තහනම් කර මාස 14ක් ගතවීමත් සමඟ සෙල්ලම් කරනුයේ අනාගතයේ රට භාර ගැනීමට සිටින දරුවන් සමඟ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ නඩුව ඉඩම් නඩුවක් වගේ පරම්පරා තුනක් තිස්සේ ඇදිය යුතු නඩුවක් නොවන්නේ යැයි ද මේ නඩු විසඳෙන තෙක් දරුවන් බලා නොසිට මවුපියන් සතුව තිබෙන මුදල් වියදම් කර උපකාරක පන්තිවලට ගොස් අධ්‍යාපනය ලබා ගන්නා බවත් ඇමැතිවරයා කීය.

බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් මෙහි තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් වැඩි දෙයක් නොකියන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මේ නඩුව නැවත මැයි 20 වැනිදාට කැඳවා තිබෙන බවත් එදාට දෙන තීන්දුවක් ලබාදී මේ ගැටලුව අවසන් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT