මාලනී අක්කාගේ ගීත සන්ධ්‍යා නංගීගේ හඬින්...‘සඳමඩල’ ප්‍රසංගය මාර්තු 27 වෙනිදා... | දිනමිණ

මාලනී අක්කාගේ ගීත සන්ධ්‍යා නංගීගේ හඬින්...‘සඳමඩල’ ප්‍රසංගය මාර්තු 27 වෙනිදා...

සඳමඩලේ සිට

තරු මඩලේ සිට

දිවැස් හෙළන පුතුනේ

බලා ගන්න පුත

බලා ගන්න පුත

ලස්සන ලක් දෙරණේ

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ලියා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් සංගීතවත් කළ මේ ගීතය නැසීගිය විශාරද ගායිකා මාලනී බුලත්සිංහලගේ මුල්ම ගීතයයි. මාලනී සදහටම සමුගෙන වසර දාහතරකට පසුව ඇගේ නැගණිය වන සන්ධ්‍යා බුලත්සිංහල මේ ගීතයේ නමින්ම එනම් ‘සඳමඬල’ නමින් මාලනීගේ ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වයි. ඒ ලබන 27 වෙනිදා සවස 6.30 කොළඹ ආනන්ද මහා විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ය.

එදා මාලනී අක්කා ගැයූ ගීත මෙදා සන්ධ්‍යා නංගීගේ හඬින් ගැයෙන මෙම ප්‍රසංගයේදී යුග ගායනයෙන් සන්ධ්‍යාට සහාය වන්නේ මාලනී බුලත්සිංහල - එච්. එම්. ජයවර්ධන යුවළගේ පුත් ජනප්‍රිය තරුණ සංගීතවේදී/ගායක කසුන් කල්හාර ජයවර්ධන, ප්‍රවීණ ගායක රෝහණ සිරිවර්ධන සහ ගුණදාස කපුගේ ශූරීන්ගේ පුත් මිත්‍ර කපුගේයි. සන්ධ්‍යාගේ සැමියා වන ප්‍රවීණ නිවේදක ලාල් ආනන්ද අබේදීර කථනයේ යෙදෙන මෙහි සංගීතය කපිල පූගලආරච්චිගෙනි. සමන් දිසානායක සංවිධානය කරයි.

‘මාලනී අක්කා ‍අමෙරිකාවේ ප්‍රසංග මාලාවකට ගිහින් එහේදි නැතිවුණාට පස්සේ දිගටම එයාගෙ ගීත ගායනා කරන්න කියල මට ඉල්ලීම් ලැබුණා. ඒත් මම මගේ ගුරු වෘත්තියේ නිරත වෙන අතර, ඉඳහිට ගී ගැයුවා මිසක් දිගටම එහෙම ගායනා කරන්න ගියේ නෑ. විවිධ අයගේ ප්‍රසංග හා තැටිවලත්, උපහාර උත්සවවලත් ඉඳහිට ගායනා කළා පමණයි. අක්කාගේ ගීත මෙහෙම එක ප්‍රසංගයකින් ගායනා කරන මුල්ම වතාව මෙයයි... සන්ධ්‍යා බුලත්සිංහල කියයි.

සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ලූෂන් බුලත්සිංහල ඇතුළු විවිධ ගීත නිබන්ධකයන් රචනා කර එච්. එම්. ජයවර්ධන ඇතුළු විවිධ සංගීතවේදීන් සංගීතවත් කළ මාලනීගේ ගීත ගණනාවක් මෙම ප්‍රසංගයේදී සන්ධ්‍යාගේ හඬින් ශ්‍රාවකයන්ට අසන්නට ලැබෙනු ඇත.

මාලනීට ඉතා සමීප ගී හඬක් ඇති සන්ධ්‍යා මේ තරම් කාලයක් නිහඬව සිටීම ගැන මාලනීගේ සමීපතමයන්ගේ විරෝධයද පසුගිය කාලයේ එල්ලවිය.

‘...මුලින් කිව්ව වගේ මම මගේ වෘත්තිය කරගෙන ගියා මිසක් අක්කගෙ සිංදු කියමින් දිගටම දුවන්න වුවමනාවක් තිබුණෙ නෑ. බොහෝ දෙනා ඒ ගී දිගටම ගයන්න කියල ඉල්ලුව බව නම් ඇත්ත. ඒත් මම විවේකීව වැඩක් කරනවා මිසක් කලබලේ දුවන්න කැමති නෑ’ සන්ධ්‍යා කියයි. පසුගිය කාලයේ වෙනත් ගායිකාවන් මාලනීගේ ගීත ගැයුවේ ඒ ගී ලියූ, හැදූ නිබන්ධකයන් හා සංගීතවේදීන් ඔවුන්ට ඒ සඳහා අවසර ලබාදීම නිසාය. කැමිලස් පෙරේරා සහ රෝහණ වීරසිංහ එසේ නිරෝෂා විරාජිනීට ‘හිමි නැති පෙමකට’ ගීය ගයන්නට ඉඩ දී තිබුණි. එච්. එම්. ජයවර්ධනයන් ඒ අවස්ථාවේ පැවසුවේ තමන් මාලනීට හැදූ ගී සන්ධ්‍යා නැගණියට හැර අන් කිසිවකුට හෝ ගායන අවසරයක් තමන් ලබා නොදෙන බවයි.

මාලනී බුලත්සිංහල නමැති විශිෂ්ට ගායිකා සංගීතවේදිනිය සංගීත ගුරුවරියක් ලෙස සුවිශාල සේවාවක් සිදු කළා ය. ළමා පරපුර සමඟ ඇය නිතර ගැවසුණාය. සංගීත පන්ති සඳහා සමහර විශාරදවරියන් අධික මුදල් අය කරද්දී මාලනි සොච්චමකට හෝ නොමිලේ ඔවුන්ට ඉගැන්වූවා ය. සන්ධ්‍යා ද එසේමය. හැමවිටම ඇය ළමා පරපුරට දයාබර වෙයි.

“ළමා පරපුරට අක්කා ගොඩක් උදව් කළා. ඉගැන්නුවා. මමත් මට හැකි පමණින් ඒ දේ කරනවා. නිතර ළමයින්ට හොඳ නිර්මාණ හදල දෙනවා. ඒවාට උනන්දු කරනවා...’ සන්ධ්‍යා කියයි.

කිසිදා දේශපාලන වහලියන් නොවූ මාලනී වැනි ගායිකාවන් විරලය. සඳමඬලක්සේ ගී ලොව එළිය කර අකාලයේ ඇය නිවී ගියත් ඇගේ ගීතාවලියේ ආලෝකය රසික පරපුර වෙත යොමු කරන්නට සැරසෙන සන්ධ්‍යා බුලත්සිංහල‍ගේ ‘සඳමඬල’ ප්‍රසංගය අති සාර්ථක කරගන්නට මාලනීගේ සුවහසක් ශ්‍රාවකයන් ඇයට ආශිර්වාද කරනු නිසැකය.

ආනන්ද

නව අදහස දක්වන්න