ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන්නේ නෑ | දිනමිණ

ශ්‍රීලනිප මැයි රැලියට සහභාගී වන්නේ නෑ

අසේල කුරුළුවංශ

ඒකාබද්ධ විපක්ෂය කිරුළපන පවත්වන මැයි දින සැමරුමට සහභාගී වන බැවින් ශ්‍රීලනිප මැයි රැලියට කිසිසේත්ම සහභාගී නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ශ්‍රීලනිප වත්මන් නායකත්වයට කළහැකි ලොකුම ගෞරවය තමන් මෙම මැයි රැලියට සහභාගී නොවීම බව ද ඒ මහතා කීය.

හිටපු ජනපතිවරයා ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්තධාතූන්වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභයමහ විහාරයන්ට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් පෙරේදා (16) මේ බව කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කරන මැයි දින සැමරුම් උත්සවයට තමාට ආරාධනා නොකළ බව ද ඒ මහතා පැවසුවේය. යම් උත්වසයකට සහභාගීවන ලෙස ආරාධනා කරන ක්‍රමවේදයක් පවතින බවත් තර්ජනය කොට බිය වද්දා කිසිවකු බලහත්කාරයෙන් උත්සවවලට සහභාගි කරවා ගතනොහැකි බවත් කී ඒ මහතා තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කැරන එජාප විරෝධී කණ්ඩායම ශ්‍රීලනිප මැයි රැලියට ගොස් සිටිය දී ආණ්ඩුවට එරෙහි කිසිවකු හූවක් කිව්වත් කිසියම් විරෝධයක් දැක්වුවත් එහි වගකීම තමන් මත පැවරෙන බව ද හෙතෙම කීය.

අද ශ්‍රීලනිප මැයි රැලියට නාවොත් විනය පියවර ගන්නා බවට එකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට තර්ජනය කැරන්නේ යූ.එන්.පී කාරයින් හා මැතිවරණයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ අය බව ද හිටපු ජනපතිවරයා පැවසුවේය. පොඩි දරුවකුට වුවද තර්ජනය කර බිය වද්දා යමක් සිදුකරන ලෙස නියෝග කළොත් එම දරුවා කැරන්නේ එපා කිවූ දෙයම බවත් එය කිසිසේත් උචිත ක්‍රමවේදයක් නොවන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. පක්ෂයේ කොටසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු කිරීමට ගියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට අනූවක්ම සිටින්නේ තම මතය සමඟ බව ද හෙතෙම අවධාරණය කළේය. එම පාක්ෂිකයන් වෙනුවෙන් මෙන්ම රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය මැයි රැලියක් සංවිධාන කැර තිබෙන බවත් රටේ වැඩ කරන ජනතාවගේ අයිතීන් උදුරා ගන්නා මෙම පාලක පංතියට විරුද්ධව පැවැත්වෙන එම මැයි දින රැලියට තමන් සහභාගීවන බවත් ඒ මහතා පැවසුවේය.

පක්ෂයක් වශයෙන් අපේ වගකීම වන්නේ වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම යැයිද හෙතෙම පැවසුවේය. අලුත් අවුරුදු සමයේ වෙළඳ පොළ නිරීක්ෂණය කරන්නට තමන් ගිය බවත් වෙළඳ පොළේ මිල ගණන් කොතරම් අඩු කළත් එදා කිලෝ පහක් හයක් ගත් පාරිභෝගිකයන් අද කිලෝවක තරම් භාණ්ඩ මිල දී නොගන්නා තත්ත්වයක් උදාවී තිබෙන බවත් පැවසූ හිටපු ජනපතිවරයා භාණ්ඩ මිල දී ගැනීමට නොව තමන් සතු රන්භාණ්ඩ උකස් තැබීමට මෙවර අලුත් අවුරුදු සමයේ ජනතාවට දිගු පෝලිම්වල රැඳීසිටීමට සිදුවූ බව ද ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්තේ, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, හිටපු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න