ඉදිරි වසර තුනේ දී ඩෙංගු මෙරටින් තුරන් කරවා | දිනමිණ

ඉදිරි වසර තුනේ දී ඩෙංගු මෙරටින් තුරන් කරවා

සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු රෝගය ඉදිරි වසර තුන ඇතුළත දී මෙරටින් තුරන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

බරවා, මැලේරියා යනාදී බෝ වන රෝග මේ වන විට පාලනය කර ඇති බවත් එසේම මහජනතාවගේ උදව් ඇතිව ඩෙංගු රෝගය ද පාලනය කළ හැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.

බෝ නොවන රෝග පිළිබඳ අවදානම් සාධක සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

බෝ වන රෝග පාලනය කළා මෙන් බෝ නොවන රෝග ද පාලනය කිරීමට ජනතාව උනන්දු විය යුතු බවත් රෝහල්වලට ඇතුළත් කරන රෝගීන්ගෙන් සියයට 70ක් බෝ නොවන රෝගීන් බවත් ඇමැතිවරයා කීය.

“මතට තිත“ වැඩසටහන ක්‍රියාත්මක කරන කාලයේ මත්වතුර බීම වැඩි වී ඇත්තේ යැයි ද දුම්කොළ භාවිතය නිසා වසරකට පුද්ගලයන් 30,000ක් මිය යන අතර දියවැඩියාව හේතුවෙන් පුද්ගලයන් 20,000 ක් මරණයට පත්වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

වයස අවුරුදු 18ත් 69ත් අතර වයස් කාණ්ඩයේ පලතුරු සහ එළවළු භාවිතය සියයට 72.5ක් පමණක් වන බව සමීක්ෂණ වාර්තාවලින් වාර්තා වී තිබේ.

හොඳ නැවුම් එළවළු සහ පලතුරු භාවිතා කිරීමේ හැකියාව ජනතාවට පවතින්නේ ද යන්න ගැන සැකයක් පවතින බවත් රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම එරෙහිව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

සීනි, තෙල්, ලුණු සඳහා බදු පැනවිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කරන්නේ යැයි ද එමඟින් බෝ නොවන රෝග පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න