කෙවිට සහ නුවණ | දිනමිණ

කෙවිට සහ නුවණ

 සංහිඳ පාමුල ලියන්නා සිය තීරු ලිපිය ලියන්නට අද කාලයේ ලිවීමේ මෙවලමක් බවට පත්ව ඇති පරිගණකය ඉදිරියේ අසුන් ගන්නට පෙර මෑතක දී නිකුත් වූ නවකතාවක් කියවමින් සිටියේ ය. කලක් තිස්සේ ලියන්නට පෙරුම් පුරමින් සිටි කාරණයකට අදාළ පාඨයක් නවකතාවෙන් හමු වූ බැවින් ඔහු නවකතාව කියවීම කල් තබා ලිවීම ආරම්භ කළේ ය. නවකතාව නිශ්ශංක විජේමාන්නගේ අලුත් ම නවකතාව වන ‘හඳ පළුව තනි තරුව’ කෘතියයි. පාසල්වල දඬුවම් දීම වර්තමානයේ බෙහෙවින් සංවාදයට බඳුන් වන කාරණයකි. නිශ්ශංකගේ නවකතාවේ එන කතා නායකයා වන ‘අනිල්’ සිය ප්‍රථම පත්වීම සේ මුස්ලිම් පාසලක සේවය කරන අතරතුර තමන් හදා වඩා ගත් ගුරුවරයා වන ‘විපුලානන්ද’ පිළිබඳ මතකයක් ආවර්ජනය කරයි. ඒ මෙසේ ය.

“ ඔයා මොකක්ද ඇහුවේ. දඬුවම් නොදීම නේද? නැහැ. ගහන්නෙ නැත්තෙ මොකද කියල. ඔය දෙක එකක් නෙවේ. ඔය ප්‍රශ්නෙ නිතර නඟලා මට විදුහල්පති, ගුරුවරු එහෙම අවවාද කරලා තියනවා. විපුලා...ඔයා ගහන්නෙ නැති එක අපට දරාගන්න බැහැ කියලා... ” ගුරුවරයා නැවත සිනාසිණි.

“ මං ආපහු ඇහුව දේ තමා ‘ඇයි ඔයාලා ගහන්නෙ කියලා මං කවදාවත් අහන්නෙ නෑනේ’ කියලා. ... ඔයාලා ගහන එක මට දරාගන්න පුළුවන් නම් මං නොගහන එක ඔයාලත් දරාගන්න. එහෙමයි මම කීවේ. ඇත්තම කීවොත් මම පාසල් යන කාලෙ ගුරුවරයෙක් මට පහර දුන්න වැරැද්දක් නොවිමසා ම. හිතන්න කන් දෙකට දහඅටක් ගැහුවා. වාර විභාගෙ දවසෙ උදේ. මං කොච්චර පව් ද? ගුරුවරු ගහන්නේ වැරදි හදන්න නොවේ. වෙන විකල්පයක් නැති හංදා. ස්කෝලෙ කියන්නෙ පුංචි පොලිසියක්. ගණං බැරිකමේ ඉඳං ගස්වලට ගල් ගහන එක දක්වා සෑම ළමයෙක් ම ඒකෙදි දඬුවම් ලබනවා. උසාවි ගෙනියන්නෙ නැතිවම. පහර දීම අදක්ෂ රියදුරෙක්ගේ හෝන් එක වගේ. හැම වැඩට ම ගන්න දෙයක්.” (‘හඳ පළුව තනි තරුව’ පිට 37 හා 38)

හඳ පළුව හා තනිතරුව නවකතාවේ එන ‘විපුලානන්ද’ නම් ගුරුවරයා අපූර්ව දැක්මක් ඇත්තෙකි. ඔහු දඬුවම් සඳහා ළමුන්ට පහර දීමේ ප්‍රචලිත ක්‍රියාදාමය දෙස වෙනස් දෘෂ්ටියකින් බලන්නෙකි. ගණං බැරිකම නැත්නම් වැඩ බැරිකමට ගුටි කෑම පිළිබඳ සිහිපත් වන විට සංහිඳ පාමුල ලියන්නාට ඔහු කියවූ තවත් නවකතාවක් මතක් වෙයි. ඒ කලකට පෙර 1982 දී පමණ ලියැවුණු අද අප අතර නැති මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නගේ ‘පමා නොවී එමි අකුරට’ නම් නවකතාවයි. එහි කතානායකයා වන සරණපාලගේ පන්තියේ සිසුන්ට ලකුණු අඩුවෙන් ලබාගත් විෂයන් වෙනුවෙන් ගුටිකන්නට සිදුවෙයි.

“පසුගිය වාර විභාගයේ දී අඩු ලකුණු ගත් ශිෂ්‍යයන්ට දඬුවම් කිරීමට අලුත් වාරයේ දෙවන දවසේ සිට ඉලංගසිංහ පන්තියෙන් පන්තියට පැමිණීමට පටන් ගනියි. ඒ ඒ පන්තියට අයත් ශිෂ්‍යයන් වාර විභාගයේ දී ගත් ලකුණු ඇතුළත් ලොකු පොතක් ඔහු ළඟ වෙයි. මහ පොත ගෙන එනු ලබන්නේ විද්‍යාලයේ ප්‍රධාන පියුන් වූ දියෝනිස් විසිනි. තමන්ට කරන්නට සිදු වී ඇති මේ රාජකාරිය ගැන නම් දියෝනිස් තුළ ලොකු සතුටක් ඇතැයි ඔහුගේ මුහුණින් පළවෙයි. රත්නසිරි ඉලංගසිංහ අඩු ලකුණු ගෙන සිටි ළමයින්ට තම වේවැලෙන් තැළුවේ එය ඔවුන්ගේ බුද්ධි වර්ධනයට ලොකු රුකුලක් වන ගුරුකමක් සේ සලකාගෙන මෙනි.” (පමා නොවී එමි අකුරට පිට 109)

“සරණපාල! ඉලංගසිංහ කෑගසා කීවේ සරණපාල හා කාලයක් තිස්සේ වෛරයක් පැවති ලෙසකිනි. සරණපාල නැඟී සිටියේ ය. ‘ගණිතයට ලකුණු තිහයි’ කියමින් ඉලංගසිංහ තම අතෙහි වූ වේවැල සරණපාලගේ පෙකනිය මට්ටම තෙක් එසවූයේ ය.

තමා අඩු ලකුණු ගෙන තිබීම ගැන ඉලංගසිංහට මෙතරම් කේන්ති ගොස් ඇත්තේ කුමක් නිසා දැයි සරණපාලගේ සිත තුළ මවිතයක් හටගත්තේ ය. සරණපාල දෙස පමණක් නොව කිසියම් විෂයකින් අඩු ලකුණු ගත් සෑම ශිෂ්‍යයකු දෙස ම ඉලංගසිංහ බැලුවේ විශාල කෝපයක් සිතින් දරාගෙනය. එහෙත් වේවැලෙන් තැලීම හැරෙන්නට එම විෂයෙන් ප්‍රවීණ බවක් ලැබීමට ගතයුතු කිසියම් පියවරක් ගැන නම් ඉලංගසිංහ සඳහනක් නො කළේ ය. ඒ සම්බන්ධයෙන් වේවැල් පහර ම ප්‍රමාණවත් වේ යැ යි ඔහු සිතා සිටියා විය යුතු ය.” (පමා නොවී එමි අකුරට පිට 110)

ඉලංගසිංහගේ වේවැල් පහරින් බුද්ධිය වර්ධනය කිරීමේ න්‍යාය ගැන කල්පනා කරන විට මට මහා කවි රැපියෙල් තෙන්නකෝන් හා ඔහු කී කවක් ද ඊට පසුබිම් වූ සිද්ධිය ද සිහිපත් වෙයි. මේ කව හා විස්තරය මට කීවේ නීතිඥ එස්. ජී. පුංචිහේවා ය. එබැවින් ඔහුට මුලින් ම ස්තුති කළ යුතු ය.

රැපියෙල් තෙන්නකෝන් කවියා ගුරුවරයකු සේ එක් විදුහලක ඉගැන්වී ය. මෙම විදුහලේ මුල් ගුරුවරයා ද සිය මුල්ගුරු මේසය වටේට ළමයින් රැස් කරවා ගණිතය ඉගැන්වී ය. ඔහු පාඩම කෙළවර ළමුන්ගෙන් ප්‍රශ්න නඟයි. ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට නොහැකි වූ විට මුල් ගුරුවරයා කෙවිටකින් ළමයින්ට තලයි. හැමදාමත් ළමයින් තැලුම් කනවා පමණි. කිසිදු සිසුවකුට ගණිතය අවබෝධ නොවේ. රැපියෙල් තෙන්නකෝන් සිය මුල් ගුරුවරයාගේ වැරදි ඉගෙනුම් ක්‍රමවේදය බලා සිටියේ ය. ක්‍රමවේදයේ වැරැද්ද මුල් ගුරුවරයාට කියා දිය යුතු ය. එහෙත් මුල් ගුරුවරයාගේ මුහුණට ම වැරැද්ද කියන්නට නොහැකිය. ඔහු පසෙක වූ හිස් කළුලෑල්ලක පහත සඳහන් කව ලියා තැබුවේ මුල් ගුරුවරයාට බලාගනු පිණිසය.

“ නිසි දේ ඉගෙනගන්නට මග කියා නොදී

බැට දේ නමුත් කළ කළ දේ යයි වැරදී

කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී

මෙරටේ ගොනුන් පඬිදුන් වනු ඇත ළඟදී”

සංහිඳ පාමුල ලියන්නා මේ ටික ලීවේ සිසුන් විනයානුකූල කරන්නට ඇතැම් පාසල් ගුරුවරුන් සාම්ප්‍රදායික ක්‍රමවේද භාවිත කිරීමෙන් පාසල් පරිශ්‍රය තුළ අනවශ්‍ය සිද්ධි සිදුවන බව අත්දැකීමෙන් දන්නා හෙයිනි. සිසුන් විනයානුකූල කිරීමේ වඩා දියුණු ක්‍රමෝපායන් හඳුන්වා දීම පිළිබඳව බලධාරීන් සැලකිලිමත් විය යුතු ය.

මහානාම දුනුමාල

[email protected]

නව අදහස දක්වන්න