අනතුරු බහුලයි! | දිනමිණ

අනතුරු බහුලයි!

 අලුත් අවුරුද්දේ නැවතත් අනතුරු ගැන කතා කරන්නට සිදු වී තිබේ. අලුත් අවුරුද්ද ලබා ඇත්තේ තවත් අනතුරු ගොන්නක් සමඟ යැයි කියන්නට පුළුවන. ප්‍රීතිය හා සැනසිල්ල පැවැතිය යුතු අවස්ථාවක ශෝකය හා පසුතැවිල්ල කඩා වදින්නේ නම්; එය බලවත් අකරතැබ්බයකි. කුමක් හෝ වරදක් කාගේ අතින් හෝ සිදු වී ඇත. එක අතෙකින් අලුත් අවුරුද්දේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇත. තව අතෙකින් ගිනි - කෙළි නිසා අනතුරු රැසක් සිදු වී ඇත.ඒ සමඟම සුපුරුදු ලෙස රිය අනතුරු ද ඉහළ ගොස් තිබේ. සියලු අනතුරු ගණන 479ක් බව කොළඹ ජාතික රෝහල කියයි. එයින් එකසිය ගණනක් රිය අනතුරුය. ජීවිතක්ෂයට පත් වූ ගණන හයක් ලෙස සටහන් වී ඇත.

දිගට ම ප්‍රකාශයට පත් වී ඇති අන්දමට ශ්‍රී ලංකාව යනු රිය අනතුරු බහුල රාජ්‍යයෙකි. පොලිසිය සීරුවෙන් සිටිය ද, රථ වාහන වැරැදිවලට ලබා දෙන දඬුවම් වැඩි කර තිබුණ ද, රිය අනතුරු අඩු වූ බවක් පෙනෙන්නට නැත. එය තහවුරු වන්නේ අවුරුදු සමයේ සිදුවූ රිය අනතුරුවල ප්‍රමාණය ඉහළ යෑම් සමඟය. රිය අනතුරු මෙ තරමින් ඉහළ යන්නේ මන්දැ’යි විවිධ දෘෂ්ටි -කෝණ ඔස්සේ විග්‍රහ වී ඇත. එක මතයකින් කියැවෙන්නේ අපේ මහා මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් වාහන සංඛ්‍යාවක් රටේ ධාවනය වන බව ය. තව මතයකින් කියැවෙන්නේ රියදුරන් අපරීක්ෂාකාරී බවය. තවත් මතයකින් කියැවෙන්නේ රථවාහනවලට අදාළ නීති හරිහැටි ක්‍රියාත්මක නොවන බවය.

රටේ මහා මාර්ගවලට ඔරොත්තු නොදෙන තරම් වාහන ප්‍රමාණයක් ධාවනය වන බව සත්‍යයෙකි. පාරවල් කුඩා ය. එලෙස ම අවිධිමත් ය. වාහන ප්‍රමාණය අධික ය. මේ තත්ත්වය අනතුරුවලට හේතුවක් වී තිබේ. මේ තත්ත්වය මගහරවා ගතහැක්කේ එක අතකින් මහා මාර්ග විධිමත් කිරීමෙන් හා නගරාශ්‍රිත ප්‍රදේශවල පෞද්ගලික වාහන ධාවනය අවම කිරීමෙන් ය. නගරවල පොදු ප්‍රවාහන සේවා සාර්ථක ලෙස පවත්වාගෙන යෑම දියුණු රටවල දකින්නට ලැබෙන ලක්ෂණයෙකි. ඒ මඟින් රථවාහන අනතුරු අඩුවන අතර ම වාහන තදබදය නවතී. මෙගා පොලිස් නගර සංවර්ධනයට මේ ක්‍රමය ඇතුළත් ය.

රියදුරන්ගේ අපරීක්ෂකාරී බව මෙන් ම ඔවුන්ගේ අවිනීත බව ද රිය අනතුරුවලට හේතුවක් වී තිබේ. රිය අනතුරු හා රියදුරන්ගේ බීමත්කම අතර සම්බන්ධයක් පවතී.ඒ සඳහා දැඩි නීති - පනවා ඇතත් අදටත් බීමතින් රිය පදවන අය සිටිති. අපරීක්ෂාකාරී බව අපේ රියදුරන්ගේ නිධන්ගත රෝගයකි. රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් ලෙස දක්වා ඇත්තේ අපරීක්ෂාකාරී ඉස්සර කිරීම් ය. එය අදටත් බහුලව සිදු වේ. අපේ රියදුරන්ට ඇත්තේ පුදුමාකාර හදිස්සියකි. ඔවුන් රථය ධාවනය කරනුයේ ඊයේ යන්නට තිබු ගමනක් ‍මේ දැන් යන්නා ලෙස ය. ඒ හැරෙන්නට අපේ රියදුරන් මාර්ග සංඥා ගැන දක්වන සැලැකිල්ල ද අඩු ය‍. මේවා නිවැරදි කර ගත යුතු කාලය පැමිණ තිබේ.

රථ වාහනවලට එනම් රථ වාහන ධාවනයට අදාළ නීති හරි හැටි ක්‍රියාත්මක නොවන බවටද චෝදනා එල්ල වී ඇත. රථ වාහන නීතිය ක්‍රියාත්මක වන්නේ පොලිස් නිලධාරීන් අතින් ය. ඔවුන් සැප වාහන, මිල අධික වාහන, ප්‍රභූ වාහන පරීක්ෂාවකට ලක්කරන්නේ කලාතුරෙකින් ය. ඒ හැරන්නට ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ලබාගෙන නීති විරෝධී ධාවනයට සහයෝගය ලබාදෙන බවටද චෝදනා එල්ල වී තිබේ. සත්‍යය ලෙසම පොලිස් නිලධාරියා නීතිය හරි හැටි ක්‍රියාත්මක නොකරන්නේ නම් රිය අනතුර වැළැක්වීම අපහසු ය. එලෙස ම පොලිස් නිලධාරින්ට බලවතුන් කරන බලපෑම් ද නැවැත්විය යුතුය. එසේ නොවුණහොත් රිය අනතුරු වැළැක්වීම අපහසු ය‍.

නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන විට ද රියදුරන්ගේ මෙන් ම මගීන්ගෙන් ද එල්ල වනුයේ චෝදනා ය. කුමන හෝ හන්දියක රථවාහන තදබදයක් පැවැතුණු හොත් රියැදුරන් අසා සිටිනුයේ හන්දියේ රාලහාමි නෙනකු ඉන්නවද යන්නය. මේවා ද කට කහනවට කියන ප්‍රකාශ නොවේ. එම කතාවෙන් කියැවෙන්නේ පොලිස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව ගැන යැයි කියන්නට පුළුවන. පවත්නා තත්ත්වය යටතේ පොලිස් නිලධාරීන් කඩියන් සේ යුහුසුළු විය යුතුය. එසේ නොවුණත් වාහන තදබදය වළක්වා ලිය නො හැකිය. එලෙසම නිලධාරියා නීතිය හරි හැටි නොදන්නේ නම් එය ද බරපතළ ගැටලුවකි. එබඳු පොලිස් නිලධාරීන් අපට ඕනෑතරම් මුණගැසී ඇත.

රටක පවත්නා රිය අනතුරු වළක්වා ගැනීම කෙනකුගේ දෙදෙනකුගේ අභිප්‍රායයක් නොවිය යුතු ය. මුළු රටම රිය අනතුරු ගැන අවධානයෙන් සිටිය යුතු අතර ඒවා වැළැක්වීමට ද හැකි සෑම පියවරක්ම ගතයුතුය. මහජනයාගේ පැත්තෙන් ද මේ සඳහා ඉටු විය යතු යුතුකම් රැසක් තිබේ‍. එක; මහජනයා මාර්ග නීති අකුරටම පිළිපදිමින් පාර මාරුවිය යුතුය. එලෙසම පදික වේදිකාව ද නීතියට අනුව භාවිත කළ යුතුය. ජනතාව හැමවිටම රිය අනතුරු පිළිබඳ අවදානම කල්පනාවෙහි රඳවා ගෙන කටයුතුකළ යුතුය. එලෙසම යම් අනතුරක් සිදුවූ විට නිවැරැදි ස්ථානයට දැනුම් දීමටත් ඔවුන් වග බලා ගතයුතුය.

රටේ රිය අනුතුරු බහුල ව සිදුවන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවලදී පරෙස්සමෙන් රිය පැදවීමට රියදුරන් උනන්දුකරවීම ඉතා වැදගත් ය. මාර්ග සංඥා, නීති ප මණක් නොව; මහජනයාත් දැනුම්වත් කිරීම ද මෙහි දී වැදගත් ය. කිසිවකුට මේ වගකීමෙන් බැහැර විය නොහැකිය. සුක්කානම අත ගන්නා සියලු දෙනාම තම භාරධූර වගකීම ගැන කල්පනා කළ යුතුව තිබේ. අනතුරකින් මිය යන්නේ තමා පමණක් ම නොවේ. රථයෙහි ගමන් කළ අහිංසක ම දරුවාට වුව සහනයක් ලැබෙන්නේ නැත. මෙය වටහාගෙන රිය පැදවිය යුතුය. ජීවිත ගණනක් ඔබෙ දෑතේ ය යන සංකල්පය මෙහිදී වැදගත්ය. මේවා පිළිබඳ පූර්ණ විමර්ශනයකින් තොරව රට ඉදිරියට ගෙන යෑම අපහසුය.

අලුත් අවුරුදු සමයේ සිදුවූ අනතුරු මඟින් හෙළිදරව් වන්නේ අපේ සමාජය බොහෝවිට නොසන්සුන් බවය. ‍පෞද්ගලික ආරවුල් ගණනාවක් සිදු වී ඇත. ඒවාට භූත වී ඇත්තේ දේශපාලනයයි. එම දේශපාලනය පිටුදැකීමට නව ඉලක්ක ඔස්සේ සමාජය වෙනස් වීම ඉතා වැදගත්ය. 

නව අදහස දක්වන්න